ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම මෙන්ම වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ කටයුතු වඩාත් ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය

ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම මෙන්ම වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ කටයුතු වඩාත් ශක්තිමත් කිරිමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ  අවධානය
  • SocialShare:

මෙරට සෞඛ්‍ය සේවාවේ වසංගත රෝග පාලනය සහ වැළැක්වීම සදහා පුමඛ කාර්යභාරයක් සිදු කරන පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ස්ථාපිතව ඇති වසංගත රෝග විද්‍යා අංශයේ සේවා කටයුතු ශක්තිමත් කරමින් ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීමට මෙන් ම වසංගත රෝග පාලනය සහ වැළැක්වීම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළ විධිමත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇත.

1959 වර්ෂයේ සිට වසර ගණනාවක් පුරාවට මෙම ඒකකය ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයින් විසින් මෙහෙයවනු ලබන අතර, අද වනවිට මෙම ආයතනය ශ්‍රී ලංකාවේ බෝවන රෝග, වසංගත රෝග පාලනය, රෝග ආවේක්ෂණය, පර්යේෂණ හා තාක්ෂණික පුහුණුව ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස කටයුතු කරනු ලබයි. ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන කාර්යයක් වන අතර, එය ලංකාව තුළ ක්‍රියාත්මක වන ඉතාමත් සාර්ථක සහ ඵලදායී මහජන සෞඛ්‍ය වැඩසටහනකි.
ඒ අනුව පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වසංගත රෝග විද්‍යා අංශයේ ක්‍රියාත්මක එක් එක් අංශ වෙත ගොස් එම අංශයන් හි වත්මන් ක්‍රියාකාරීත්වය සොයා බැලීමට කටයුතු කරන ලද අතර, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා ඇතුළු ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සම ග එ්කකයේ ඉදිරි වැඩකටයුතු සැළසුම් කිරීමට අදාළ පුළුල් සාකච්ඡාවක් පවත්වනු ලැබීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවා‌වේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් වසංගත රෝග විද්‍යා අංශය විසින් ඉටු කරන බවයි. එය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ද ඇගයීමට ලක්විය යුතු විශාල සේවාවක් බව ද ඒ මහතා පැවසීය. ඉදිරියටත් ශක්තිමත් හා විධිමත් සේවාවක් ලෙස එම කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය පියවර ගන්නා බවත්, හදුනා ගත් ගැටළු සදහා කඩිනම් විසඳුම් ලබාදීමට ක්‍රියා කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරනු ලැබීය.
‌රෝග ආවේක්ෂණ කටයුතුවලට අමතරව සියලු එන්නත්කරණ වැඩසටහන් යාවත්කාලීන කිරීම, වසංගත පාලන පුහුණු වැඩසටහන් ආදී කටයුතු පිළිබදව අමාත්‍යවරයා මෙහි දී පුළුල් විමර්ශනයක නිරත විය. එමෙන් ම ශ්‍රී ලංකාවේ වසංගත රෝගවල වර්තමාන තත්ත්වය තක්සේරු කිරීමත්, වැඩි අවධානයක් යොමු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමත් අත්‍යාවශ්‍ය කරුණක් බව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කරනු ලැබීය.
ශ්‍රී ලංකාව තුළ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියේ හා ක්ෂේත්‍ර නිරීක්ෂණවල වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා වසංගත රෝග නිවාරණ ක්ෂේත්‍රයේ භාවිතා වන නවීන තාක්ෂණික ක්‍රම පිළිබඳව ගැඹුරු දැනුමක් සහ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම සහ නවීන තාක්ෂණයත් සමග ඉදිරි වැඩකටයුතු පවත්වාගෙන යාම පිළිබඳ ව ද අමාත්‍යවරයා මෙහි දී වැඩි අවධානයක් යොමු කරන ලදි.
වසර තිහකට ආසන්න සිවිල් යුද්ධය, COVID-19 වසංගතය වැනි තත්ත්වයන් තුළ ප්‍රතිශක්තිකරණ සහ ආවේක්ෂණ ක්‍රියාවලිය නොකඩවා පවත්වාගෙන යාමටත්, රෝග තුරන් කිරීම ඇතුළු ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමටත් වසංගත රෝග විද්‍යා අංශය කටයුතු කළ ආකාරයත්, වසූරිය සහ පෝලියෝ රෝගය තුරන් කිරීම මෙන් ම සරම්ප, රුබෙල්ලා සහ නව ජන්ම පිටගැස්ම රෝගය රට තුළින් තුරන් කිරීම ආදී වශයෙන් මෙම අංශය විසින් ලබාගනු ලැබූ විශේෂිත ජයග්‍රහණ පිළිබඳවත්, ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වල වත්මන් තත්ත්වයන් පිළිබදවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරීමට ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය මෙහි දී කටයුතු කරනු ලැබීය.
ගෝලීය වසංගත තත්ත්වයන්ට සාර්ථකව මුහුණදීම අරමුණු කරගෙන රෝග කාරක කලින් හඳුනාගැනීම පාලනය හා වැළැක්වීම සදහා පිහිටුවීමට අපේක්ෂිත රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ මුලික සැලසුම් පිළිබඳව ද (Centre for Disease Control and Prevention) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහි දී දැනුවත් කරන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.