ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” පනත් කෙටුම්පත, සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට

 ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” පනත් කෙටුම්පත, සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට
  • SocialShare:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව ගරු කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (30) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එකී තීන්දුව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පහත පරිදි සාරාංශගත කර ඇති බව නියෝජ්‍ය කථානායකවරයා නිවේදනය කළේය.

• 8(2) වගන්තියෙහි සඳහන් කමිටුවේ සාමාජිකයන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ වගකිව යුතු බවට යෝග්‍ය පරිදි සංශෝධනය කළ යුතු ය.

• 13(1)(ඇ) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනමත විචාරණයක දී ජනතාව විසින් එය අනුමත කළ යුතු ය. කෙසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි එම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

• 13(1)(ආ) වගන්තියෙහි විවිධාංගීකරණයේ දෙවන අදියරෙහි දී සේවකයින් මාරු කිරීම සහ සේවකයින් ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිපාදනයක් අන්තර්ගත නොවන බැවින් අපැහැදිලි හා අත්තනෝමතික වේ. එබැවින් මෙම වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව සමඟ කියවිය යුතු 14(1)(උ) ව්‍යවස්ථාව උල්ලංඝනය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2) ව්‍යවස්ථාව ප්‍රකාරව විශේෂ බහුතරයකින් පමණක් සම්මත කළ යුතු ය. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි එම වගන්තිය සංශෝධන කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

• 13(2) වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(උ) ව්‍යවස්ථා උල්ලංඝනය වේ. එසේ වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සාරාංශයේ සඳහන් පරිදි මෙම වගන්තිය සංශෝධනය කරන්නේ නම් එම උල්ලංඝනය ඉවත්ව යනු ඇත.

ඒ අනුව කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සෑහීමට පත්වන බැවින්, S.C. (SD) 19/2025 සහ S.C. (SD) 20/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් ඉල්ලා අස් කර ගැනීමට තීරණය කර ඇති හෙයින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබා නොදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය මගින් දැනුම් දී ඇති බව නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.