නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිත පුද්ගලයින් සඳහා ප්‍රවේශ පහසුකම් නොමැති ආයතනවලට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග

    දෙසැම්බර් 03, 2014

    ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා රජය විසින් නිකුත්කර ඇති ගැසට් නියෝගයට අනුව සියලුම රජයේ මෙන් ම පොදු සේවා සපයන ප්‍රසිද්ධ ගොඩනැගිලි 2014 ඔක්තෝබර් 16 දිනට පෙර ප්‍රවේශ පහසුකම් සැපයිය යුතුව තිබු අතර එසේ නොමැති ආයතනවලට එරෙහි ව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇති බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.

     

    තවද ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව කෙටුම් පත සකස් කිරීමද, සංඥා භාෂාව පිළිගත් භාෂාවක් කිරීම සඳහා වන කෙටුම් පත සකස් කිරීමද, සුදු සැරයටිය භාවිත කරන්නන් සඳහා නීතිමය රැකවරණය ලබා ගැනීම සඳහා වන කෙටුම්පත් සැකසීම ද, අදාළ පාර්ශවයන්ගේ එකඟතාව ලබාගැනීම සඳහා ඉදිරි කටයුතු කෙරෙමින් පවතින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

     
    අද ට (03) යෙදී ඇති ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දින සැමරුම් ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පෙ.ව. 10.00 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

     

     

    ශ්‍රී ලංකාවේ ආබාධිත බව පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එහි දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීමට නියමිතය.

     

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් එදා 2005 දී ප්‍රකාශයට පත් කළ මහින්ද චින්තන ප්‍රකාශනය අද යථාර්ථයක් බවට පත්කරමින්  පක්ෂ, පාට, ජාති, ආගම්, කුලභේද නොසලකා සියලු ජන කොටස් පුබුදුවාලමින් සංවර්ධනයෙන් ගොඩනැගෙන මේ මාතෘ භුමිය අපගේ නූපන් දූ දරුවන්ට දිය හැකි මහඟු දායාදයක් බව අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පැවසීය.

     

     

    ආබාධ සහිත තැනැත්තන් සඳහා ක්‍රියාත්මක කරන සුබසාධන වැඩසටහන් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් සිය අදහස් පළ කරන අමාත්‍යවරයා; “අද අප රටේ 7% පමණ වන ආබාධ සහිත ප්‍රජාව ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, සුරක්ෂිතභාවය ඇතිකිරීම හා ඔවුන්ගේ සංවර්ධනය මෙන්ම සුභ සාධනය ඇති කිරීමේ අරමුණින් මහින්ද චින්තන සංකල්පය පෙරදැරිව මාගේ මඟපෙන්වීම යටතේ නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මැතිතුමාගේ අධීක්ෂණය යටතේ ලේකම්තුමිය ඇතුළුව නිලධාරී මණ්ඩලය විසින් මේ වන විට ආබාධ සහිත ප්‍රජාවට සමාජයේ ගෞරවනීය භාවයත්, සමානාත්මතාවත් හා සමාජයේ පිළිගැනීමක් ඇති කිරීමට කටයුතු යොදා ඇත.  ඒ තුළින් ඔවුන්ගේ සුවිශේෂී දක්ෂතාවන්, කුසලතාවන් හා හැකියාවන් ඔප් නංවමින් අභිමානවත් පිරිසක් ලෙස නැගී සිටීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ද උපරිම ලෙස ලබා දීමට හැකිවී ඇත.     

     

     

    මේ වනවිටත් අඩු ආදායම්ලාභී ආබාධ සහිත පවුල්වල ජීවන තත්ත්වය නගාසිටුවීමට එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් 50 බැගින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ආබාධිත පුද්ගලයින් 16,603 දෙනෙකුට මාසිකව රුපියල් 3000ක් ලබා දෙනු ලබයි. මේ සඳහා මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට රුපියල් මිලියන 448 වැය කර ඇත. තවද ආබාධ සහිත දරුවන්ට සහ ආබාධ සහිත දෙමාපියන්ගේ දරුවන්ට අධ්‍යාපනික උපකරණ හා පාසල වෙත යාමට ප්‍රවාහන පහසුකම් සඳහා 195 දෙනෙකුට ආධාර ලබා දීම ද සිදු විය. මෙවර අය වැයෙන් සියලු ම ආබාධිත පුද්ගලයින් සඳහා මාසිකව රුපියල් 3000 ජීවන වියදම් දීමනාව ලබා දීමටත්, ආබාධිත දරුවන් පාසැල් යැවීම දිරි ගැන්වීම සඳහා මසකට රු. 750ක ප්‍රවාහන දීමනාවක් ලබාදීමටත්, ආබාධිත දරුවන්ගේ වෘත්තීය කුසලතා පුළුල් කිරීම හා වෘත්තීය අධ්‍යයන පාසැල් නවීකරණය කිරීමට රුපියල් මිලියන 100ක් වෙන්කර ගැනීමට හැකිවීම අප ලද ජයග්‍රහණයකි. තවද ආබාධිත පාසැල්වල ගුරුවරුන්ට දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර, අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ හා උත්සව අත්තිකාරම් ලබා දීමට තීරණය විය.         

     

     

    ආබාධ සහිත පුද්ගලයින් වෙනුවෙන් ආධාරක උපකරණ ලබා දීමේ දී ඇස් කණ්ණාඩි, රෝද පුටු, ට්‍රයිසිකල්, අත්වාරු, ශ්‍රවණ  උපකරණ සහ කිහිලිකරු සඳහා මේ වර්ෂයේ සැප්තැම්බර් මාසය වනවිට රුපියල් මිලියන 20.386ක් වැය කර ඇත. ආබාධිත පුද්ගලයින් සඳහා නිවාස 2420 නිමකර ඔවුන් වෙත පවරා දී ඇති අතර නිවාස ඉදිකර ගැනීමට හෝ අලුත්වැඩියා කිරීම සඳහා මේ වසරේ පුදගලයින් 288 දෙනෙකුට රුපියල් මිලියන 33.830ක් වියදම් කර ඇත. වෛද්‍යාධාර වශයෙන් පුද්ගලයින් 309 දෙනෙකුට ද හා ස්‌වයං රැකියා සඳහා පුද්ගලයින් 255 දෙනෙකුට මූල්‍යමය ආධාර ලබා දී ඇත.

     

     


    ආබාධ සහිත තැනැත්තන්ගේ ජීවන තත්ත්වය උසස්කිරීම සඳහා රජය විසින් විශාල කැපකිරීමක් මේ වන විට සිදුකර ඇති අතර ආබාධ සහිත තැනැත්තන් ගෞරවනීය පුරවැසියන් ලෙස සමාජයේ ජීවත්වීමට පෞද්ගලික අංශයේ මෙන්ම සියලු ජනතාවගේ ද පුර්ණ සහය ලබා දෙන මෙන් ද අමාත්‍යවරයා එම නිවේදනයෙන් ඉල්ලා සිටී.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya