අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියඟයෙන් පීඩාවට පත් පදවිය, කැබිතිගොල්ලෑව ජනතාවට සහනාධාර

    අප්‍රේල් 21, 2014

    පසුගිය මාස කීපය පුරා පැවති දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත් පදවිය සහ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි පවුල් 7522 කට නියං සහනාධාර බෙදාදීම, පසුගියදා ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.


     

    මේ අනුව මෙම නියං සහනාධාර වැඩසටහනේ මුල් අදියර සඳහා රුපියල් ලක්ෂ 47ක් පමණ වටිනා සහල්, සීනි, පරිප්පු, සබන් වැනි වියළි සලාක බෙදාදෙන ලදි. ඒ යටතේ එක් පවුලකට සතියකට රුපියල් අටසියයක පමණ ආධාරයක් ලබාදෙන ලදි.


    පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 15කට අයත් පවුල් 4624කටත්, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 23කට අයත් පවුල් 2898කටත් මෙම නියං ආධාර බෙදාදෙන ලදි.
     

    ඉකුත් මහ කන්නයේ සිට රජරට ප්‍රදේශයට බලපෑ දැඩි නියඟය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ලබාදුන් උපදෙස් අනුව මෙම සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක වන බව පසුගියදා පදවිය විවිධ සේවා සමුපකාර සමිතියේ පැවති සහනාධාර බෙදාදීමට එක්වෙමින් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පැවසීය.
     

    විශේෂයෙන් පදවිය වැව මූලික කරගනිමින් කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තයෙන් ජීවත්වන බහුතර ජනතාවක් වෙසෙන පදවිය ප්‍රදේශය මුලින්ම නියං සහනාධාර බෙදාදීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.
     

    එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණය කරමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලබාදෙන අනෙකුත් සහනාධාර ද නොපමාව ලබාදීමට අදාළ බලධාරීන් දැනුවත් කර ඇති බව ද අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මෙහි දී අනාවරණය කළේය.


    පදවිය ප්‍රදේශයේ ජනතාවට ආධාර බෙදාදීමේ අවස්ථාවට පදවිය ප්‍රාදේශීය සහාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක, පදවිය ප්‍රාදේශීය ලේකම් ජී.එම්.කේ.රංජිත් ප්‍රියදර්ශන යන මහත්වරු ද සහභාගී වූහ.


    කැබිතිගොල්ලෑව ජනතාව සඳහා සහනාධාර බෙදාදීම අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිතිගොල්ලෑව, බණ්ඩාර උල්පත විහාරස්ථානයේ දී සිදුකෙරිණි. එම අවස්ථාවට උතුරු මධ්‍යම පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක විහාරහල්මිල්ලෑවේ ධම්මරක්ඛිත නාහිමියන්, කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ. සේනානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


    HC

    donations to dry zone peoples 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya