මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පසුගිය දා අදාළ පාර්ශවයන් කැඳවා ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී ඇත.
ඒ අනුව උක්ත කරුණ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් දඹුල්ල රජ මහා විහාරාධිපති පූජ්‍ය ඉනාමළුවේ සුමංගල නාහිමි, අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය නන්දා වික‍්‍රමසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක යන මහත්ම මහත්මීහුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූහ. එහි දී තීරණය වූයේ ඉතා කඩිනමින් මේ විෂය ක්ෂේත‍්‍රයට අදාළ විශේෂඥයින්ගෙන් යුත් කමිටුවක් පත් කොට ඉදිරි පියවර ගැනීමයි.
මේ අනුව ශ‍්‍රී ලංකාවේ වාස්තු විද්‍යාඥයකු, පුරාවිද්‍යාඥයකු මෙන්ම චිත‍්‍ර හා මූර්ති සංරක්ෂකයකු ද වන මහාචාර්ය නිමල් ද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කර ඇත. දිලීර, වේයන්, කුඹලන් වැනි කෘමීන් ජල කාන්දුව හා ආර්ද්‍රතාව නිසා ලෙන් සිතුවම්වලට වන හානි වළකා ගැනීමට විසඳුම් සෙවීමත් මූර්තිවල පතුරු හා කොටස් ගැලවීම, බදාම ස්ථරය බොල්වීම, ඉරිතැලීම ආදියෙන් මූර්තිවලට සිදුවන හානි වළකා ගැනීමත් මේ කමිටුවේ මූලික අරමුණ වේ.
මෙම කමිටුවේ ආචාර්ය ජගත් වීරසිංහ (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය) මහාචාර්ය රවි විජේසුන්දර (කොළඹ විශ්වවිද්‍යාලය), එම්.ඩී.පී.වී. ද කොස්තා (කොළඹ විශ්වවිද්‍යාලය), ආචාර්ය අසේල කුලතුංග (පේරාදෙණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය මනෝජි ගුණතිලක (ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව), වී.ටී. වඩුගේ (ජාතික පරමාණු බලශක්ති අධිකාරිය), විරාජ් එදිරිසිංහ යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයෝ වෙති.
ECB