අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කලාවැව ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ පුහුණු ආයතනයේ පැවැති ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි ඉහළ විධායක නිලධාරීන්ගේ දෙදින පුහුණු වැඩමුළුවේදීය.
මෙම වැඩමුළුව අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. මෙම වැඩමුළුවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ධීවර දෙපාර්තමේන්තුව, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ලංකා ධීවර සංස්ථාව, නාරා ආයතනය, ලංකා ධීවර වරාය සංස්ථාව, සී-නෝර් පදනම යන ආයතනයන්හි විධායක නිලධාරීහු සහභාගි වූහ.
මෙම වැඩමුළුව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩි.එම්.ආර්.බී. දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් අමාත්‍යාංශ අතිරේක ලේකම් (පාලන) ඒ.පී.ජී. කිත්සිරි මහතා හා පාලන අංශය මඟින් සංවිධානය කර තිබුණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. "ඔබ අද මේ වැඩමුළුවේදී ජීවිතය ජයගන්න හොඳින් වැඩ කරන්න ඉගෙන ගත්තා. අධ්‍යාපනය, ක‍්‍රියාව, කාර්යක්‍ෂමභාවය, ශාරීරිකව හා මානසිකව ව්‍යායාම, විනෝදය ආදී සියල්ල ජීවිතයට අවශ්‍යයි. ජීවිතයේ ගුණාත්මක භාවය ඉතා වැදගත්. අපි කොච්චර නිරෝගීව ඉන්න ඕනෑද? කොච්චර සමතුලිතතාවකින්ද ජීවත් විය යුත්තේ? මේවා තමයි වැදගත්.
ඔබ, අප හැමෝම රාජකාරියක් කරනවා. රජයේ නීති පද්ධතියට අනුව රාජකාරිය රාජකාරියක් වුණාම ඇති. මරණයේදී අප මරණ බිය හා අවසාන ඉගෙනුම ලබනවා. අපි ඉපදුණ දවසේ ඉඳලා මිය යන තෙක්ම මුළු ජීවිතේම අධ්‍යයනය කරනවා. මැරෙන දවසේ තමයි අවසාන පාඩම ඉගෙන ගන්නේ. මරණය කොයි වගේද? ඒකේ වේදනාව කොහොමද? ඒ වේලාවේ ඇති වන සිතුවිලි මොනවද? මේ ඔක්කොම අපි අවසාන පාඩමේදී ඉගෙන ගෙන මිය යනවා. ඒ නිසා මුළු ජීවිතේම අධ්‍යයනයක්.
බුදු හාමුදුරුවන්ගේ හේතුඵල වාදයත්, මාක්ස්ගේ හේතුඵල වාදයත් දෙකම එකයි. දෙන්නම කියන්නේ හේතුවක් නිසා තමයි ඵලයක් ඇති වෙන්නේ කියලා. ඒ ඵලය ඉදිරියට ගමන් කිරීමේදී වෙනසක් වෙනවා. බුදු හාමුදුරුවෝ කියන්නේ මෙය එක තැන කරකැවෙන චක‍්‍රයක්. මාක්ස් කියන්නේ එය දුන්නක් කියලා. නමුත් මතක තියාගන්න මේ සියලු දේවල්වලින් දකින දෙයක් තමයි අපි අන්තිමට මේ ගමන කොහෙන්ද ඉවර වෙන්නේ කියන එක. ඒ නිසා රාජකාරිය රාජකාරිය සේ කළොත් ඒ යුතුකම හරි. නමුත් ඊට එහා ගිහින් කල්පනා කළොත් තමයි හොඳ. හැමදේම පර්යේෂණවලින් කරන්නේ බැහැ. අපිට බැරි දේවල් හුඟක් තියෙනවා. පුළුවන් දේවල් ටිකයි තියෙන්නේ. මේ සියලු දේවල් නැතිවෙන දවසක් එනවා. එදාට ඉතුරු වෙන්නේ හිතේ සැනසීම විතරයි" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
NDH