නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාතේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට පියවර

    අගෝස්තු 29, 2014
    වයඹ පළාතේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සඳහා ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සහයෝගය ලබා ගැනීමට තීරණය කර තිබේ.

    කුරුණෑගල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැති රැස්වීමකදී මෙම තීරණය ගන්නා ලදී. 

     කුරුණෑගල දිස්ත‍්‍රික්ලේකම් කාර්යාලයේ පැවැති මෙම රැස්වීමේදී වයඹ පළාතේ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය මාර්ගවල අනුමත ප‍්‍රමාණයට වඩා භාණ්ඩ පටවා ගත් ලොරි රථ ගමන් කිරීම නිසා මාර්ග විනාශ වීම පිළිබඳව ද සම්බන්ධීකරණ කමිටුවේදී සාකච්ඡාවට බදුන්විය. එහිදී අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කියා සිටියේ මේ පිළිබඳ පොලිසිය දැඩි අවධානය යොමු කළ යුතු බවයි. අලුතින් ඉදිකරන ග‍්‍රාමීය මාර්ග මෙලෙස විනාශ වීම නිසා රජය විවේචනයට ලක්වන අයුරු ඔහු පෙන්වා දුන්නේය.
     

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මහින්දෝදය විද්‍යාගාර 90ක් ඉදිකර ඇතත් උපකරණ නොමැති වීම නිසා ඉන් 70ක් විවෘත කිරීමට නොහැකි බව අධ්‍යාපන නිලධාරීන් මෙහිදී කියා සිටියේය. ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 1640කට අධිකය.

     

     ඇතැම් ගොවිජන සංවර්ධන නිලධාරීන් ආසන සංවිධායකවරුන්ගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා ව්‍යාපෘති අනුමත කර ගැනීම ගැටලු සහගත බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා එහිදී පැවසීය. එවැනි නිලධාරීන්ට විනයානුකූල පියවර ගන්නා ලෙස නියෝජ්‍ය ගොවිජන සේවා කොමසාරිස්වරියට එහිදී දැනුම් දෙන ලදී. නියඟය පවතින ප‍්‍රදේශවල වැව් ගැඹුරු කිරීමේ ව්‍යාපෘති කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදී. පැවැති නියඟය හේතුවෙන් හෙක්ටයාර 20655ක වගා කළ කුඹුරු ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවද සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය විය. 

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මාතෘසායන, ආදාහනාගාර, සතිපොළ සහ බස් නැවැතුම්පොළ රැසක් ඉදිකරනු ලබන්නේ රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව විසිනි.  2013 වර්ෂයේ ආරම්භ කර ඇති ඇතැම් ව්‍යාපෘති මෙතෙක් අවසන් නොකිරීම පිළිබඳව එම ආයතනයට මෙහිදී චෝදනා එල්ල විය. ව්‍යාපෘති ප‍්‍රමාද කිරීම සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා මීළඟ දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී හේතු දැක්විය යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේය.

    කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සියලු ම නගර ආවරණය වන පරිදි සංවර්ධනය කිරීමේ සැලැස්මක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. එය සකස් කරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය විසිනි. දැනට කුරුණෑගල නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සකස් කර අවසන් වී ඇත. එහිදී කුරුණෑගල පොලීසිය, බන්ධනාගාරය, අධිකරණ සංකීර්ණය, පරිවාස හා ළමාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙනත් ස්ථානයක ඉදිකිරීමට නියමිතය. රුපියල් මිලියන 100ක වියදමින් කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණය ද සංවර්ධනය කරනු ඇත. ඊට අමතරව කුලියාපිටිය, මහව, ගල්ගමුව, හෙට්ටිපොළ, අලව්ව, නාරම්මල සහ නිකවැරටිය යන නගර ද සංවර්ධනය කරන බව මෙහිදී  අනාවරණය විය.
     

    මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් එච්.එන්.බී. හිටිසේකර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.  



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya