මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිඳීගිය වැව් ආශ‍්‍රිතව ළිං කැපීමේ විශේෂ ව්‍යාපෘතියක් හෙට ඇරඹෙයි

    අගෝස්තු 06, 2014
    උතුරු මැද පළාතේ පවතින දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව පීඩාවිඳින ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත සිඳීගිය වැව් ආශ‍්‍රිතව ළිං කැපීමේ විශේෂ ව්‍යාපෘතියක් හෙට (07) අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.


    නියඟය හේතුවෙන් වැව් හා ළිං සිඳීයෑමෙන් පානීය ජලය ලබා ගත නොහැකිව සිටින උතුරු මැද පළාතේ ජනතාව පිළිබඳ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැනුවත් කිරීමෙන් පසු වැවට කිසිදු හානියක් නොමැති වන ආකාරයට වැව් ආශ‍්‍රිතව පවතින "කට්ටකඩුවේ" එනම් බැම්මට පහළ කොටසේ (වැවේ පිටතේ) පානීය ළිං ඉදිකිරීමට ගොවි සංවිධාන නියෝජිතයන්ගේ එකඟතාව මත තීරණය කළ බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේය.

     

    ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය හා උතුරු මැද පළාත් සභාව ඒකාබද්ධව මේ ළිං ඉදිකිරීමේ කටයුතු සිදු කරනු ඇත.

     

    නියඟයෙන් පීඩා විඳින ගම්මාන කරා මේ වන විට බවුසර් මඟින් ලබා දෙන ජලය ප‍්‍රමාණවත් නැති නිසා මෙම වැඩපිළිවෙළ ඇරඹෙන අතර බවුසර් මඟින් පානීය ජලය ලබා දීම දිගටම ක‍්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

     

    හෙට පෙ.ව. 9.00ට තන්තිරිමලේදී  මේ කාර්යය විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

     

    මේ අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් විලච්චිය, මැදවච්චිය, කැබිතිගොල්ලෑව, පදවිය, හොරොව්පොතාන, කහටගස්දිගිලිය, ගලෙන්බිඳුණුවැව, පලුගස්වැව, රඹෑව, මිහින්තලේ, තිරප්පනේ, පලාගල හා ගල්නෑව ප‍්‍රදේශයේ ද පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ දිඹුලාගල, මැදිරිගිරිය හා වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලද සිඳීගිය වැව් ආශ‍්‍රිතව පානීය ජලය ලබා දීම සඳහා මේ ළිං ඉදිකිරීමට පියවර ගැනේ.

     

    NDH

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya