මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධයට මුදල් වෙන්කිරීමට දේශපාලන සහයක් තිබුණේ නෑ

    අගෝස්තු 06, 2014
    ජනාධිපතිතුමා රට බේරාගන්න යුද්ධය ක්‍රියාත්මක කරන අවස්ථාවේ දී යුද්ධයට මුදල් වෙන් කරන අය-වැයට එදා ජනතා විමුක්ති පෙරමුණේ කිසිදු මන්ත්‍රීවරයෙක්වත් පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙන්න ඉදිරිපත් නො වූ බවත් යුද ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ට, හෘද සාක්ෂියට එකඟව අදහස් පළ කිරීමට හැකියාවක් නොමැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප ලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ නායිකා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ ‍ක‍ළාය.
     
    අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව කියා සිටියේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මගපෙන්වීම මත ක්‍රියාත්මක "රට රකින නිල් පවුර - සුරකිමු මව්බිම" වැඩසටහනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා සංවිධානයේ ඇහැලියගොඩ ආසන නියෝජිත සම්මේලනයට සහභාගී වෙමිනි.
     
    ඇහැලියගොඩ නගර චතුරශ්‍රයේ පැවති මෙම කාන්තා නියෝජිත සම්මේලනය අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර මේ සඳහා කාන්තාවෝ 5000කට අධික පිරිසක් සහභාගී වී සිටියහ. මෙතෙක් පැවති කාන්තා සම්මේලනවලට වඩා අතිවිශාල කාන්තාවන් පිරිසක් ඇහැලියගොඩ නගරයට රැස්ව සිටීම මෙහි විශේෂත්වයක් විය. 
     
    මෙරට සියලු කාන්තාවන්ගේ දෙවුර මත සැබෑ ජාතික වගකීමක් පැවරී ඇති බවත් 30 වසරක් තිස්සේ පැවති ත්‍රස්තවාදය නිමාකර, රට සංවර්ධනය සඳහා මුල පුරා ඇති මොහොතක, එය ආපස්සට හැරවීම සඳහා දේශීය මෙන්ම විදේශීය කුමන්ත්‍රණ පවතින බවත් පැවසීය. ජාතික බලවේගයක් ගොඩනගා එය පරාජය කළයුතු බවත් ඒ සඳහා සමස්ත කාන්තාවන් පෙරට එමින් සිටින බවත් අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.
     
    "අපිට ඉතිහාසය මතකයි. ඒ කාලකණ්නි අතීතයට ආයෙමත් අපේ රට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. අපේ ජනාධිපතිතුමා, ජනාධිපති ධූරයට පත් නොවුණා නම්, කාන්තාවෝ හැටියට අපේ ඉරණමට මොකක් වෙයිද. අතීතයේ වැඩියෙන්ම දුක් වින්දේ අපේ කාන්තාවෝ. යුද්දෙට ගිය තමන්ගේ පුතා, ස්වාමියා ගැන විඳෙව්වේ අපේ කාන්තාවෝ".
     
    ඉදිරියේ දී තීරණාත්මක මොහොතක් එළඹෙන බවත් එදිනට අපට සිදු කිරීමට ජාතික වගකීමක් තිබෙන බවත් පෙන්වා දුන් අමාත්‍යවරිය ඒ ලංකාවේ දෙවෙනි ඊලාම් යුද්ධය ඇති කරන්න කටයුතු කරන දේශීය විදේශීය බලවේගවලට ඉඩ නොතියන්න වග බලාගත යුතු බවත් පැවසීය.
     
    ජාතික නිදහසක් නොමැති ව ආත්ම ගරුත්වයක් ඇති පුරවැසියන් විදිහට ජීවත්විය නොහැකි බවත් එනිසා විදේශීය බලවේගයන්ට යටත් නොවී, නිදහස රැකගත යුතු යැයි ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
     
    "සමහර පුද්ගලයන් විදේශීය බලවතුන් සමග එකතු වී ආණ්ඩු විරෝධී ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. රටේ උරුමයන් පාවා දෙනවා. එවැනි අවදානමකින් රට බේරාගත යුතුයි. එදා රට වෙනුවෙන් සිය ජීවිත පූජා කරපු, අපේ මුතුන් මිත්තන් වෙනුවෙන්, ඔවුන්ගේ ලේවල නාමයෙන් රට බේරාගත යුතුයි".
     
    "ප්‍රජාතන්ත්‍රවාදය හැම අතින්ම වැදගත්. එය වැළැක්වීමට එන ආඥාදායක අවතාර පරාජය කළ යුතුයි.  විදේශිකයින්ට මේ රටට අත පොවන්න බැරි වෙන්න රටේ එක්සත් බව රැකගත යුතුයි". 
     
    මහින්ද චින්තනයේ ගැබ්වී තිබෙන ජනතාවාදි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු බවත් අධිරාජ්‍යවාදයට ගැතිකම් කරන, ප්‍රභූ පන්තියේ බලයට යටවුණ, දක්ෂිණාංශික බලයකට ඉඩනොදෙන අනාගතයක් සහතික කළ යුතු යැයි ද අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙහිදී වැඩිදුරටත්  පැවසීය.
     
    පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න, සබරගමුව පළාත් සභා අධ්‍යාපන අමාත්‍ය භාණු මුනිප්‍රිය, ඇහැලියගොඩ ප්‍රාදේශීය සභා සභාපති සරත් සන්දනායක යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB
     
    IMG 0264
     
     
    IMG 0155

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya