මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුදමය මානසිකත්වය සාමාන්‍ය කිරීමට ගන්නා පියවර මිලිටරීකරණය නො වේ

    අගෝස්තු 01, 2014
    රට වෙනුවෙන් යුධ වැදුණු මෙරට හමුදා සෙබළුන් රට හදන සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් කිරීම තුළින් වත්මන් රජය සිදුකරනු  ලැබුවේ එම හමුදා සෙබළුන්ගේ යුදමය මානසිකත්වය සාමාන්‍ය ජන ජීවිතය සමඟ සම්බන්ධවන මානසිකත්වයක් බවට පරිවර්තනය කිරීමේ ඉතා වැදගත් සායනික ක්‍රියාන්විතයක් බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
     
    එම සායනික ක්‍රියාන්විතය ලෝකයේ ඉතා දියුණු ක්‍රමවේදයක් බවත් යුද වැදුණු හමුදා සෙබළුන්ගේ යුදමය මානසිකත්වය සාමාන්‍ය ජන ජීවිතය සමඟ මුසුකිරීම උදෙසා රජය සිදුකළා වූ මෙම ක්‍රියාවලිය විපක්ෂය පවසන පරිදි මිලිටරීකරණය නොවන බවත්, විමල් වීරවංශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.  
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කොළඹ අග නගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් රුපියල් මිලියන 400ක වියදමින් නවීකරණය කරන ලද ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ මාර්ග පද්ධතිය හා ජලාපවාහන පද්ධතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවය පසුගිය දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා පරිශ්‍රයේ දී පැවැත්විණ.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා "නිදහසින් පසුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට නාගරික සංවර්ධනය කියන විෂය ඉතිහාසයේ ප්‍රථම වතාවට එකතුවෙලා තියෙනවා. අද අපේ හමුදා සෙබළුන් රට හදන සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත්වෙමින් ඒ මහා සංවර්ධන කාර්යයට සිය දායකත්වය ලබාදෙනවා. අපේ හමුදා සෙබළුන් පරාජයට පත් කළේ ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානයක්. ලෝකයේ බලවත් රටවල් පවසන ආකාරයට අපේ හමුදාව යුධ අපරාධයන් සිදු කළා නම් යුද්ධය අවසන් කිරීමෙන් පසු ගත වූ මේ කාල සීමාවේදී මෙරට සිවිල්  සමාජයට අපි අපේක්ෂා නොකරන භයානක තත්ත්වයන්ට ආරක්ෂක හමුදාවන් නිසා මුහුණදීමට සිදුවෙනවා. නමුත් අද එහෙම භයානක තත්ත්වයකට මෙරට මුහුණ දීලා නැහැ". 
     
    "ආරක්ෂක හමුදාවේ මානසික යුද්ධයට ගැළපුණු මානසික තත්ත්වය සාමාන්‍ය ජන ජීවිතයට ඔබින මානසිකත්වයක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද? කියන කතාන්දරය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය බවට පරිණාමයවීම තුළ තියෙනවා".
     
    මෙහිදී විමල් වීරවංශ අමාත්‍යවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දක්ෂ නිලධාරියෙකු මෙරට දේශපාලන ප්‍රවාහයට පැමිණීමේ වැදගත්කම  පිළිබඳව ද අදහස් පළ කළේය.
     
    මිනිසුන්ගේ අහිංසකකම, දුප්පත්කම පාවිච්චි කරලා ඡන්ද ගැනීමේ, බඩු බෙදන සිල්ලර දේශපාලනයක් අද මේ රටට අවශ්‍ය කරන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ රට ඉදිරියේ ඇති අනාගත අභියෝග ජයගැනීමට ප්‍රගතිගාමී සැලැස්මක් සහිතව  එම අභියෝගයන් මනා ලෙස ජයගත හැකි වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළ කරා රට රැගෙන යාමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දක්ෂ නිලධාරියෙකු අපේ රටේ දේශපාලන ප්‍රවාහයට සම්බන්ධවීම ඉතා වැදගත් කටයුත්තක් වෙනවා ” යනුවෙන් ද විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
     
    කොළඹ අග නගර ආශ්‍රිත නාගරික සංවර්ධන  ව්‍යාපෘති මඟින් රුපියල් මිලියන 400ක වියදමින් නවීකරණය කරන ලද  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ මංමාවත් 24ක් සහ ජලාපවාහන පද්ධතිය මෙදින ජනතා අයිතියට පත්කෙරිණ. 
     
    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයේ ආරක්ෂාකාරී, පිරිසිදු හා පහසු මං මාවත් නිර්මාණය කරමින් ජනතාවට වඩාත් පහසුවක් සලසාදීම මෙම සංවර්ධන ක්‍රියාවලියේ අරමුණ විය.
     
    මං මාවත් 24ක් තාර අතුරා ක්‍රමවත් කිරීම, ජල ගැලීම් වළකාලන ලෙස ක්‍රමවත් කළ ජලාපවාහන පද්ධති ඉදිකිරීම හා වීදි සංඥා පිහිටුවීම මෙමඟින් සිදුකොට ඇත. රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රමුඛ නාගරික පුනර්වර්ධන ව්‍යාපෘතියක් වන  කොළඹ අගනගර ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ලෝක බැංකු සහන ණය පදනම යටතේ මේ සඳහා මූල්‍යාධාර සපයන ලදී.
     
    මෙම අවස්ථාවට  ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා, හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, එහි අතිරේක ලේකම්  රොහාන් සෙනෙවිරත්න, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ  මහ නගර සභාවේ නගරාධිපති ජනක රණවක යන මහත්වරු,  ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    SAN 7369

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya