ඔක්තෝබර් 16, 2019
tami eng youtube  twitter facebook

    ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බව ජනපති අවධාරණය කරයි

    ජනවාරි 25, 2019

    ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ අද (25) සිංගප්පූරුවේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.

    මෙහි දී සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයෙකු ලෙස තමා දැඩිව විශ්වාස කරන බවයි. මිනිසාට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත්, පරිසර හිතකාමී ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීමත් අද අපගේ ප්‍රධාන වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

    ප්‍රෞඩ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් සහිත දේශයක් වන ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගෙන ඇති පියවර පිළිබඳව විස්තර කළ ජනාධිපතිතුමා ආහාර නාස්තිය පාලනය කර ගැනීමට කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීම පිළිබඳ යෝජනාවක් ද එක්සත් ජාතින්ගේ පරිසර සමුළුව වෙත ඉදිරිපත් කළේය.

    තිරසර හරිත කර්මාන්ත සවිමත් කිරීම උදෙසා කලාපීය සහයෝගීතාවයන් ඇති කිරීමට දියුණු ජාතීන්ගේ සහය අවශ්‍ය බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා දේශගුණික විපර්යාස හේතුවෙන් බලවත් ලෙස බලපෑමට ලක්වන ශ්‍රී ලංකාව වැනි රටවලට සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට හැකිවන ලෙස අරමුදල් ලබාදීමේ යාන්ත්‍රණයකඅවශ්‍යතාවය ද අවධාරණය කළේය. කාලීන අවශ්‍යතාවයන්ට අනුකූල ලෙස නව පියවර ගැනීමටත්, පරිසර සම්මුති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයත් පැහැදිළි කළ ජනාධිපතිතුමා පරිසර සම්මුති යටතේ සිය වගකීම් ඉටුකිරීම උදෙසා සාමාජික රටවල් දිරිමත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් පිළබඳව ද යෝජනා කළේය.

    එමෙන්ම පරිසර පද්ධතිය විශේෂයෙන්ම තෙත්බිම් රසායනික අපද්‍රව්‍යවලින් සුරැකීමට එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළ ජනාධිපතිතුමා කඩොලාන සුරැකීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව ඉටුකරන සුවිශේෂ කාර්යභාරය ද පැහැදිලි කළේය. කඩොලාන සුරැකීම වෙනුවෙන් ගෝලීය මට්ටමින් අංගසම්පූර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ද ජනාධිපතිතුමා මෙහිදී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වන සැසිය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබීය.

    ගෝලීය උෂ්ණත්වයේ හානිකර බලපෑම් මැද වුව ද ශ්‍රී ලංකාව යෝධ හරිත ආයෝජනයක් වශයෙන් මොරගහකන්ද කළුගඟ බහුකාර්ය ජල සම්පත් යෝජනා ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා මෙය පාරිසරික වෙනස්කම්වල බලපෑම අවම කර ගැනීමට ගත් එක් පියවරක් බව ද සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඞ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී ආරම්භ කෙරිණි.

    “පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා වන නිර්මාණාත්මක විසඳුම්” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව සඳහා ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 40 ක් නියෝජනය කරමින් පරිසර අමත්‍යවරු සහ ඉහළ පෙළේ නියෝජිතයන් එක්ව සිටියහ.

    සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගනු ලැබුවේ සිංගප්පුරු නියෝජ්‍ය අගමැති Teo Chee Hean , ටුවාලු රාජ්‍යයේ අගමැති Enele Sosene Sopoaga යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසිනි.

    පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂ කැපවීමකින් කටයුතු කරන සහ පරිසරය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹී නායකයෙකු ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ දේශනය මෙහිදී සියලු පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක් විය.

    සිංගප්පූරුවේ පැවැති පරිසර අමාත්‍යවරුන් ගේ සහ පරිසර අධිකාරීන් ගේ තෙවන සමුළුවේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව

    සමුළුවේ සභාපතිතුමනි,

    ටුවාලු දේශයේ අගමැතිතුමනි,

    සිංගප්පූරුවේ නියෝජ්‍ය අගමැතිතුමනි

    ආසියානු ශාන්තිකර කලාපීය අමාත්‍යවරුනි, නියෝජ්‍ය අමාත්‍යවරුනි,

    සම්භාවනීය අමුත්තනි,

    මටත් මගේ නියෝජිත පිරිසටත් දක්වන ලද සුහද උණුසුම් සත්කාර සම්බන්ධයෙන් සිංගප්පූරු රජයට සහ ජනතාවට ප්‍රථමයෙන් ම මාගේ කෘතඥතාව පළ කරමි.

    සමුළුවේ විශිෂ්ට සංවිධාන කටයුතු සම්බන්ධව සිංගප්පූරු රජයටත් එක්සත් ජාතීන් ගේ පරිසර වැඩසටහනටත් ප්‍රසාදය පළ කරමි.

    පරිසර අභියෝගයන්ට මුහුණ දෙමින් තිරසර සංවර්ධන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට ගෝලීය ජනතාව ප්‍රයත්න දරන මේ අවස්ථාවේ දී ආසියානු ශාන්තිකර කලාපීය පරිසර ඇමති සැසිය ඇමතීමට ලැබුණු අවස්ථාව වරප්‍රසාදයක් ලෙස සලකමි.

    අද ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ගෝලීය මට්ටමින් විසඳුම් සෙවිය යුතු කලාපීය වැදගත්කමකින් යුතු පාරිසරික ගැටලු කෙරෙහි ය.

    එබැවින් එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර පරිසර වැඩසටහන මෙහිදී කලාපීය සහයෝගිතාව තර කර ගැනීම සඳහා ගෝලීය මට්ටමින් ගෙන ඇති පියවර ගැන ප්‍රසාදය පළ කරමි.

    ගරු සභාපතිතුමනි

    ලොව පුරා, විශේෂයෙන් අප කලාපයේ ආර්ථික, සමාජීය සහ පරිසර ක්ෂේත්‍රයන්ට දේශගුණික විපර්යාසවල ඇති බලපෑම ඉමහත් ය. මෙම වාතාවාරණය තුළ එක්සත් ජාතීන් ගේ පරිසර සමුළුවේ සිව්වන සැසිය සඳහා තේමාව ලෙස පරිසර අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදීමට ගත යුතු නිර්මාණාත්මක විසඳුම් සහ මිනිස් දැනුම කෙරෙහි අවධානය යොමු කර තිබීම වැදගත්ය.

    බෞද්ධ දර්ශනය පිළිපදින්නකු වශයෙන් මා තරයේ විශ්වාස කරන්නේ මනුෂ්‍ය වර්ගයා ගේ පමණක් නො ව පෘථිවියේ සමස්ත ජීවය ම තිරසර ලෙස පවත්වා ගැනීමේ වගකීම අප සතු බවය.

    මාර්තු මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන් ගේ පරිසර සමුළුවේ සිව්වන සැසිය ගෝලීය ආහාර සුරක්ෂිතතාවය සහතික කිරීම උදෙසා වූ ප්‍රතිඵලදායී හමුවක් වනු ඇතැයි මම විශ්වාස කරමි.

    අප ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත් පරිසර හිතකාමී තිරසර ගෝලීය ආර්ථික මට්ටමක් ගොඩනැඟීම දෙසට ආර්ථිකය මෙහෙයවීමත් අප ගේ ප්‍රධාන වගකීම වේ. එබැවින් පරිසරය උදෙසා වූ අප ගේ යුතුකම් ඉටු කිරීම සඳහා කලාපීය සහයෝගිතාවය තර කර ගැනීම අතිශයින් වැදගත් ය.

    ප්‍රෞඪ කෘෂිකාර්මික ශිෂ්ටාචාරයක් සහිත දේශයක වැසියෙකු වන මම මුළු මහත් ලෝකයේ ම යහපත උදෙසා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර ඔබ සමග බෙදා ගැනීමට කැමැත්තෙමි.

    අපගේ අතීත පරම්පරාවන් ආහාර අතින් සුරක්ෂිත වූ අතර ම ඔවුහු පරිසරයට ගරු කළහ. අද ගෝලීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නව නිර්මාණාත්මක පර්යේෂණ තුළින් තිරසර පාරිභෝගික ක්‍රමවේදයක් දිරිමත් කරමින් සිටින වාතාවරණය තුළ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ ඉදිරි පරිසර සමුළුව වෙතට යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ආහාර නාස්තිය පාලනය කරන ලෙසට ය.

    ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයා ගේ ප්‍රමුඛත ම වගකීම වන්නේ ස්වභාවධර්මයේ වර්ධන ශක්තිය පවත්වා ගැනීම ය.

    ස්වභාව ධර්මයේ හදවත නම් සාරවත් පස පෝෂණය වීමට අවශ්‍ය වාතාවරණය යි. පස සහ ජල සම්පත් පෝෂණය කරන වනාන්තර පෘථිවි මාතාව ගේ රුධිරය වශයෙන් අනාගත පරම්පරාවට සුරක්ෂිත බව දායාද කරයි. මාගේ විශ්වාසය එය අප ගේ වගකීම බව ය. පරිසර පද්ධතිය, විශේෂයෙන් තෙත්බිම් රසායනික අපද්‍රව්‍යවලින් සුරැකීමට අප එක්ව කටයුතු කළ යුතුය.
    ශ්‍රී ලංකාව කවදත් ගෝලීය පරිසරය සුරැකීමේ තම මෙහෙවර නිසි ලෙස ඉටු කිරීමට කැපව සිටී. කඩොලාන සුරැකීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය හරිත පරිච්ඡේදයේ සාමාජිකයකු වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් අපි ඉටු කරන්නෙමු. ඒ සඳහා කඩොලාන සුරැකීමට ගෝලීය මට්ටමින් අංගසම්පූර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වන සැසියට ඉදිරිපත් කරනු ඇත.

    ගරු සභාපතිතුමනි,

    මෙහිදී මම අවධාරණය කරන්නේ පෙර පැවැති සමුළුවලදී සම්මත කර ගත් යෝජනා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය යි. ආසියානු ශාන්තිකර කලාපීය කාර්යාලය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනින් ඉල්ලා සිටින්නේ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසට ය.

    ඊට අමතර ව කාලීන අවශ්‍යතාවයන්ට අනුකූල ලෙස නව පියවර ගැනීමටත් පරිසර සම්මුති සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කරමි. පරිසර සම්මුති යටතේ සිය වගකීම් ඉටුකිරීම සඳහා සාමාජික රටවල් දිරිමත් කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් ඇති කළ යුතු බවට යෝජනා කරමි.

    එමෙන් ම දේශගුණික විපර්යාස හේතුවෙන් බලවත් ලෙස බලපෑමට ලක්වන ශ්‍රී ලංකාව වැනි රටවලට සිය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීමට හැකිවන ලෙස අරමුදල් ලබාදීමේ යාන්ත්‍රණයක් ද අවශ්‍ය බව අවධාරණය කරමි.

    හරිත ආර්ථිකයේ ප්‍රතිඵල ලබාගත හැකිවන ලෙස තිරසර හරිත කර්මාන්ත සවිමත් කිරීම උදෙසා කලාපීය සහයෝගිතාවයන් ඇති කිරීමට දියුණු ජාතිකයින්ගේ සහය අවශ්‍ය වන බවට ද පෙන්වා දිය යුතුය. එක්සත් ජාතින්ගේ පවිත්‍ර සමුද්‍ර ව්‍යාපාරය ලොව සාගර සුරැකීම අතින් වැදගත් ප්‍රගතියක් ලබාගෙන ඇත. එම ව්‍යාපාරය තව දුරටත් ඉදිරියට ගෙන යමින් ගොඩබිම තුළ සිදුවන ක්‍රියාකාරකම් මගින් සාගරයට සිදුවන හානිය ගත්විට විශේෂයෙන්ම මයික්‍රෝ ප්ලාස්ටික්වලින් සිදුවන හානිය අවම කර ගැනීමට අදාළ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ පරිසර සමු`එවේ 04 වන සැසියට ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම සමු`එවට ඉදිරිපත් කර ඇත. අප කලාපයේ සමුද්‍ර හා වෙරළ දූෂණය පිළිබඳ බලගතු ප්‍රශ්නයට පරිසර හිතකාමී විසඳුම් සෙවීමට අප කලාපීය වශයෙන් එක්ව ක්‍රියා කළ යුතු ය. මා කනගාටුවෙන් වුව ද සඳහන් කරන්නේ 2019 ගෝලීය පරිසර අනතුරුදායක ලේඛනයේ ශ්‍රී ලංකාව දෙවන තැනට පත්ව සිටින බවය. සමශීතෝෂ්ණ දිවයිනක් වන ශ්‍රී ලංකාවේ සියයට 70ක් වන ගොඩබිම් ප්‍රදේශයක් වියළි කලාපයට අයත්වන අතර වසරකට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 1500කට ද අඩුය.

    ගෝලීය උෂ්ණත්වයේ හානිකර බලපෑම් මැද දී වුව ද ශ්‍රී ලංකාව යෝධ හරිත ආයෝජනයක් වශයෙන් මොරගහකන්ද – ක`එගඟ බහුකාර්ය ජල සම්පත් යෝජනා ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් විය. මෙය පාරිසරික වෙනස්කම්වල බලපෑම් අවම කර ගැනීමට ගත් එක් පියවරකි. එම යෝජනා ක්‍රම මගින් වියලි කලාපයේ ජනතාවට පානීය ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා ජලය ලැබේ. ඝනමීටර් මිලියන 817 ක ධාරිතාවයක් සහිත එම ජලාශ දෙකට අමතරව අප රටේ උතුරු නැගෙනහිර හා මධ්‍යම පළාත්වල ඉඩම් හෙක්ටයාර් 84000 කට වාරි ජලය සැපයීමෙන් කිරීමෙන් ජාතික ආර්ථිකයට රුකලක් දෙයි. ඊට අමතරව මෙගාවොට් 25 ක ජල විදුලිය ද ලැබේ.

    යුනෙස්කෝ ලෝක උරුමයක් වන ලංකාවේ සම්ප්‍රදායික වාර්මාර්ග ක්‍රමය සුරක්ෂිතව පවත්වා ගැනීමෙන් අප හරිත යටිතල පහසුකම් දෙසට ආයෝජනය කර තිබේ. එම යෝජනා ක්‍රමය වාරිමාර්ග වැව් 2500 ක් ද කිලෝමීටර් 260 ක ඇළ මාර්ග ද ප්‍රතිසංස්කරණය කර ඇත. ඉඩම් සම්පත් සීමා වුව ද ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 2030 වන විට සියයට 29 සිට සියයට 32 ක් දක්වා වර්ධනය කිරීමට “වන රෝපා” යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දී හරිත පරිසරය රැක ගැනීමට මෙම එඩිතර හරිත යෝජනා ක්‍රමවල ප්‍රගතිය දැක ගැනීමට අප රටට පැමිණෙන ලෙස මම ලෝක නායකයින්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ගරු සභාපතිතුමනි, ආසියානු ශාන්තිකර කලාපයේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව තරයේ විශ්වාස කරන්නේ මෙම සමු`එවෙන් යෝජිත එක්සත් ජාතින්ගේ සරිසර සම්මේලනය සඳහා අගනා කලාපීය සහයෝගිතා සැකසුමක් ඉදිරිපත් කළ හැකි බවය. මෙම සැසිය කලාපීය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා හවුල් ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කර ගැනීමට සමත්වන බවට විශ්වාස ය.
    මෙම සැසිය තුළින් උපරිම සාර්ථකත්වයක් අත්පත් කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

    ස්තූතියි.

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya