මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යෝධ නිදිකුම්බා විනාශයට පියවර

    ජූලි 21, 2014

    සියලු වගාවන්ට බරපතළ හානි සිදු කරන ආක‍්‍රමණශීලී ශාකයක් ලෙස විවිධ ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝධ නිදිකුම්බා ශාකය කොළඹ දිස්ත‍්‍රික්කයේ කඩුවෙල, මාලඹේ, කොළොන්නාව යන ප‍්‍රදේශවල ව්‍යාප්ත වීමත් සමඟ ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමට කෘෂිකර්ම අමාත්‍යාංශය වගකිව යුතු නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යාංශය පවසයි.


    මේ වන විට කඩුවෙල, මාලඹේ යන ප‍්‍රදේශවල ව්‍යාප්ත වෙමින් පවතින මෙම යෝධ නිදිකුම්බා ශාකයේ බීජ ජලය සමඟ පාවී ගොස් කැලණි ගඟ ආශි‍්‍රත කොළොන්නාව ප‍්‍රදේශවල ද ව්‍යාප්ත වන්නට පටන් ගෙන ඇත. මෙම ශාකයේ බීජ වසර 50ක් වැනි කාලයක් නොනැසී පවතින බැවින් එය මර්දනය කිරීම අපහසු කටයුත්තකි. යෝධ නිදිකුම්බා ආහාරයට ගැනීමෙන් ගවයන් මිය යාමට ලක්විය හැකි බව ද මෙහි ව්‍යාප්තිය විශාල ගැටලුවක් බව ද ඒ පිළිබඳව තොරතුරු සොයා බැලීමේ දී අනාවරණය වී ඇත.

     

    මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කිරීමෙන් පසුව යෝධ නිදිකුම්බා ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මාලඹේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවත්විණි. මේ සඳහා පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, නියෝජ්‍ය පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, දිස්ත‍්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, ග‍්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් යන රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ. මාලඹේ කෘෂි උපදේශක නලින් රාජපක්ෂ මහතා විසින් යෝධ නිදිකුම්බා වපසරිය අයත් අයිතිකරුවන් කැඳවූ අතර ඉතා ඉක්මනින් යෝධ නිදිකුම්බා සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට ඔවුන්ට උපදෙස් ලබාදුන් අතර එම පිරිස් ඒ සඳහා කැමැත්ත ප‍්‍රකාශ කරන ලදී. ඒ පිළිබඳව කෘෂි උපදේශක විසින් වරින් වර පසු විපරම් කටයුතු සිදුකිරීමට කටයුතු ක‍්‍රියාත්මක කරන බව ද මෙහිදී සඳහන් කෙරුණි. 

     

    ඊට අමතරව කඩුවෙල, වෙලේ හන්දියේ යෝධ නිදිකුම්බා ව්‍යාප්ත වූ ප‍්‍රදේශය වර්ෂා කාලයට ජලයෙන් යටවන බැවින් පසුගිය දිනවල පැවති වර්ෂාව නිසා ඇතැම් ස්ථානවල යෝධ නිදිකුම්බා මර්දනයට අපහසු බව එහිදී ප‍්‍රකාශ විය. ඊට අමතරව වර්තමානය වන විට අක්කර 10ක පමණ යෝධ නිදිකුම්බා ඉවත් කර ආර්ථික බෝග වගාවන් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් අනාවරණය විය. 

     

    යෝධ නිදිකුම්බා ශාකය ව්‍යාප්තවීම ප‍්‍රදේශයට දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන බැවින් එම උවදුර මර්දනය කිරීමට මේ වන විට ක‍්‍රියාමාර්ග රැසක් ගෙන ඇති අතර ඉදිරියේ දී මේ සම්බන්ධ පසු විපරම් සිදුකරමින් අවශ්‍ය කටයුතු මෙහෙයවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින්  කොළඹ දිස්ති‍්‍රක් කෘෂිකර්ම අධ්‍යක්ෂකට උපදෙස් ලබා දුන් බව ද එම අමාත්‍යාංශය සඳහන් කළේය.   

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya