මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගිරිහඬුසෑයෙහි නව විශ්‍රාම ශාලාව ආරක්ෂක ලේකම් අතින් විවෘත කෙරේ

    ජූලි 19, 2014
    තිරියාය, ගිරිහඬුසෑය විහාරස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද නව විශ්‍රාම ශාලාව ඊයේ (18) ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විවෘත කරනු ලැබීය. "උරුමයක උල්පත" නමින් මෙය නම් කර ඇත. 

    අතිපූජ්‍ය කොටුගොඩ ධම්මවංශ ස්වාමීන් වහන්සේ මෙම උත්සවයේ ආගමික වතාවත් සිදු කළහ. මහා සංඝරත්නයේ සෙත් පිරිත්  සජ්ඣායනා මධ්‍යයේ ආරක්ෂක ලේකම්වරයා විසින් නව විශ්‍රාම ශාලාවේ සවිකර තිබූ සමරු එලකය නිරාවරණය කරන ලදී.


    සියලුම සනීපාරක්ෂක පහසුකම් සහිතව ඉදිකර ඇති මෙම නව විශ්‍රාම ශාලාවෙහි එකවර 20 දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සැපයිය හැකි වේ. සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ වයිස් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ මගපෙන්වීම මත සිවිල් ආරක්ෂක බලකාය විසින් මෙම අති නවීන විශ්‍රාම ශාලාව ඉදිකරන ලදී.

    ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සහ සීටීසී (CTC) යන සමාගම් මේ සඳහා අවශ්‍ය මුල්‍ය දායකත්වය සැපයීය. "උරුමයක උල්පත" පදනම මෙහි සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරිණි.

    තපස්සු භල්ලුක යන වෙළෙඳ දෙබෑයන් විසින් බුදුරජානන් වහන්සේගේ කේෂ ධාතූන් තැන්පත් කරමින් මීට වසර 2600කට පමණ පෙර ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම චෛත්‍ය ලෙස හැඳින්වෙන ගිරිහඬුසෑය ශ්‍රී ලංකාව පාලනය කළ මහා විජයබාහු රජතුමා ඇතුළු විවිධ රජවරුන් විසින් කලින් කලට ප්‍රතිසංස්කරණය කරන ලදී.

    මෙහිදී ආරක්ෂක ලේකම්තුමා, මෙම විහාරස්ථානයට දීර්ඝ කාලීන අවශ්‍යතාවක්ව පැවති මෙම විශ්‍රාම ශාලාව ඉදිකිරීම සඳහා මුල්‍ය දායකත්වය ලබා දුන් ආයතනවලට මෙන්ම ඉදිකිරීමට ශ්‍රම දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන්ට ද සිය ප්‍රශංසාව හා ස්තූතිය පුදකර සිටියේය. එසේම මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පූජා  භූමියේ පැළයක් රෝපණය කිරීම ද සිදු කරන ලදී.

    මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හා බෞද්ධ සැදැහැවතුන් විශාල ‍පිරිසක් සහභාගී වූහ.

    NDH/mod

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya