සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ස්‍ය තොග අපනයනය වැඩි කිරීමට ජපන් සහාය

    සැප්තැම්බර් 25, 2017
    ජපානයට අපනයනය කරන ශ්‍රී ලංකාවේ මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට එරට උපරිම සහාය ලබා දෙන බව ජපානයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත දැනුම් දී ඇත.
     
    ජපානයේ නිල සංචාරයක නිතරත ව සිටින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මසහිසා සාටෝ (Masahisa Sato- State Minister for Foreign Affairs- Japan)  හමු වී කළ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කොට ඇත.
     
    මේ වනවිට ශ්‍රී ලංකාව විසින් විදේශ රටවලට අපනයනය කරනු ලබන මසුන් ගෙන් සියයට 12ක් මිල දී ගනු ලබන්නේ ජපානය විසිනි. විශේෂයෙන් ටූනා මසුන් උපයෝගිකර ගනිමින් ජපාන ජනතාව විසින් පරිභෝජනය කරනු ලබන සාම්ප්‍රදායික  ආහාරයක් වන සුෂි හා ශෂිමි මේ වනවිට ශ්‍රී ලංකාව විසින් සකස් කර එරටට අපනයනය කරනු ලබයි. ජපානයේ පරිභෝජනයට ගන්නා එසේ සකස් කරන  ලද මෙරට ටූනා මසුන් කිලෝවක් එරටට මිල දී ගනු ලබන්නේ රුපියල් 30,000ක් වැනි ඉහළ මිලකටය.
     
    මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජපානයට අවශ්‍ය සුෂි හා ශෂිමි නිෂ්පාදන වැඩ පිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහාය ලබා දෙන්නැයි එරටින් ඉල්ලීමක් කළේය. එමෙන්ම දැනට අප රට විසින් අපනයනය කරනු ලබන සියයට 12ක් තරම් වන මත්ස්‍ය තොග ප්‍රමාණය වැඩි කිරීමට ශ්‍රී ලංකා රජයට හැකි බවත් ඊට ජපාන රජයේ සහයෝගය අපේක්ෂා කරන බවත් කීය.
     
    මෙහිදී අදහස් පළ කළ ජපාන විදේශ කටයුතු අමාත්‍ය මසහිසා සාටෝ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තයේ සංවර්ධනට ලබා දිය හැකි සියලු සහාය ජපානය රජය මගින් ලබා දෙන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ටූනා මසුන් ජපාන ජනතාව අතර ඉතා ජනප්‍රිය බවත්, ටූනා මසුන් ආශ්‍රිතව නිෂ්පාදනය කරන සුෂි හා ශෂිමි යන ජපාන සාම්ප්‍රදායික ආහාර වර්ග ශ්‍රී ලංකාවේ නිපදවීම හා ඒවා ජපාන වෙලෙදපොළට මිල දී ගැනිමේ කටයුතු ශක්තිමත් කරන බවත් ඒ මහතා කියා සිටියේය.
     
    දැනට ජපාන රජය විසින් වාර්ෂිකව එරටට මිල දී ගන්නා මෙරට ටූනා මසුන් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 700කට ආසන්න වේ.
     
    ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවත්වන ලද භෝජන සංග්‍රහයකට ද අමාත්‍යවරයා සහභාගි වු අතර එම අවස්ථාවන් සියල්ල සම්බන්ධීකරණ කටයුතු සඳහා එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා සහ එතුමාගේ කාර්ය මණ්ඩලය මහත් කැපවීමක් කළ බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya