සැප්තැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධිවර ප්‍රජාවට 2018 අයවැය ලේඛනයෙන් සහන රැසක්

    සැප්තැම්බර් 18, 2017
    ධීවර කර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා නවීන ධීවර යාත්‍රා යොදා ගැනීමට කටයුතු කරන ආයෝජකයින්ට හෝ ධිවර ප්‍රජාවට 2018 අයවැය ලේඛනයෙන් සහන රැසක් ලබාදීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රිච්වින් සිලෝන් ෆිෂරීස් ආයතනය විසින් නවීනතම පහසුකම් සහිත ධීවර යාත්‍රා දෙකක් සයුරට මුදා හැරීම වෙනුවෙන් දික්ඹ්විට ධීවර වරායේදි පැවති උත්සවයකට සහභාගි වෙමිනි.
     
    අඩි 55කට වඩා විශාල නවීන තාක්ෂණය සහිත මෙම යාත්‍රා දෙක ධීවර කර්මාන්තයේ නවීන පහසුකම්වලින් සමන්විත අතර එම ධීවර යාත්‍රා චීනයේ නිෂ්පාදනය කරන ලද්දකි.මෙතෙක් ශ්‍රීලංකාවේ ධීවර යාත්‍රාවන් සතුව නොතිබූ පහසුකම් රැසක් මෙම ධීවර යාත්‍රා සතු වන අතර එක් ධීවර යාත්‍රාවකට මසුන් මෙට්‍රික් ටොන් 120ක ධාරිතාවයකින් යුක්ත වේ.
     
    මෙම ධීවර යාත්‍රා දෙක සමුදුරු ගත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ රිච්වින් ෆිෂරීස් ආයතනය විසින් ධීවර කර්මාන්තයට නව ප්‍රවේශයක් ලබා දී ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා "අපි දන්නවා අපේ රට වගේ අට ගුණයක් විශාල සාගර කළාපයක් අපිට තිබෙනවා. එමෙන්ම අභ්‍යන්තර ජලාශ 10,000කට වැඩි ප්‍රමාණයක් සහ කළපු 116ක් තිබෙනවා. එසේ තිබියදීත් තාමත් අපි විදේශ රටවලින් මාළු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසි දහසක් පමණ විදේශ රටවලින් ආනයනය කරනවා."
     
    "නමුත් මෙවැනි නවීන තාක්ෂණික ධීවර යාත්‍රා යොදා ගැනීම මඟින් වැඩි මසුන් ප්‍රමාණයක් අල්ලා ගැනීමටත් මත්ස්‍ය පසුඅස්වනු නාස්තිය අවම කරගැනීමටත් පුලුවන්. අපේ තිබෙන කුඩා ධීවර යාත්‍රාවලින් අල්ලා ගන්නා මසුන්ගෙන් සියයට හතලිහක් පාරිභෝජනය සඳහා නුසුදුසුයී. අඩුම තරමේ කරවල හෝ උම්බලකඩ සැකසීම සඳහාවත් ඒවා යොදා ගත නොහැකියි. එම නිසා මෙවැනි නවීන පහසුකම්වලින් සමන්විත ධීවර යාත්‍රා මඟින් පසුඅස්වනු නාස්තිය අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා".
     
    "පසුගිය සතියේ මම අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළා මේ ධීවර යාත්‍රා දෙක ගැන.දැනට අපේ රටේ කුඩා ධීවර යාත්‍රා විශාල ප්‍රමාණයක් තිබුණත් මත්ස්‍ය සම්පත නෙළා ගත හැක්කේ සීමිත ප්‍රමාණයක්. එම නිසා අඩුම තරමින් එවැනි බෝට්ටු 10කට මෙවැනී එක් ධීවර යාත්‍රාවක් බැගින් හෝ ලබා දී කුඩා ධීවර බෝට්ටු ඉවත් කරන්නේ නම් එමඟින් ධීවර ප්‍රජාවට වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙළා ගත හැකි වෙනවා. ඒ නිසා මම අමාත්‍ය මණ්ඩලයට යෝජනා කළා 2018 අයවැය ලේඛනයේදී මෙවැනි නවීන තාක්ෂණයෙන් යුත් ධීවර යාත්‍රා සඳහා ආයෝජනය කරන්නන්ට හා ධීවර ප්‍රජාවටත් සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ඇරඹිය යුතු බව".
     
    එම නිසා ධීවර කර්මාන්තයේදි නවින තාක්ෂණය යොදා ගැනීම මඟින් වැඩි ආදායමක් ලබා ගත හැකි වන පරිදි ධීවර ප්‍රජාවට අවශ්‍ය සහන හා පහසුකම් 2018 අයවැය ලේඛණය මගින් ලබා දීමට අපි සුදානම් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
     
    මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චී මහතා ඇතුලු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya