පසුගිය දින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශයේ දී පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී මෙම ප්ලාස්ටික් බෝතල් ධීවරයින් විසින් මුහුදට බැහැර කිරීම නිසා මුහුදු පතුලේ තිබෙන කොරල්පර, ජලජ පැළෑටි, මසුන් මෙන්ම වෙනත් ජලජ ජීවීන්ට විශාල වශයෙන් හානි කරවන බව ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු මහතා විසින් අනාවරණය කළේය.
පරිසරය සුරක්ෂිත කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශාල මෙහෙවරක් ඉටුකරන බැවින්, එතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය දැක්වීමක් වශයෙන් ධීවරයින් මුහුදු යන විට ජලය ගෙන
යාම සඳහා භාවිතා කරන කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ සියලු ම ප්ලාස්ටික් ජල බෝතල් මුහුදට ගෙන යාම තහනම් කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා විසින් දැනුම් දුන්නේය.
ධීවරයින් විසින් ජලය ගෙන යාම සඳහා ස්ථීර ජල භාජනයක් භාවිතා කළ යුතු අතර, ධීවර වරායන්වලින් බෝට්ටු පිටව යාමේ දී ඒවා දැඩි පරීක්ෂාවට ලක් කෙරේ.
ඒ අනුව, ප්ලාස්ටික් බෝතල් රැගෙන යාම පාලනය කිරීමට පියවර ගන්නා අතර, සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම උපදෙස් ක්‍රියාත්මක කරන්න යැයි අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කළේය. මීට අදාළ චක්‍රලේඛය සියලු ම දිස්ත්‍රික් ධීවර අධ්‍යක්ෂ කාර්යාල සහ සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාල වෙත වහාම නිකුත් කරන ලෙසද මෙහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරි මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.