නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකරන වතු සමාගම් රජයට

    දෙසැම්බර් 22, 2015
    වත්මන් රජය අයවැයෙන් යෝජනා කරන පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට නොහැකි වතු සමාගම් රජයට පවරා ගැනීමට කටයුතු කරන බව විශ්ව විද්‍යාල අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. 
    අමාත්‍යවරයා මෙම අදහස් පළ ‍කළේ පසුගියදා පැවති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදීය. වතුකරයේ ජනතාවගේ වැටුප් සම්බන්ධ ඉල්ලීම්වල සාධාරණත්වයක් ඇතැයි පෙන්වා දුන් අමාත්‍යවරයා ඇතැම් වතු සමාගම් සහ ඒවායේ පාලකයන් වතු කම්කරු ජනතාවගේ සුභ සිද්ධිය පිළිබද එතරම් සැලකිල්ලක් නොදක්වන අවස්ථා ඇති බවද පැවසීය. රජය මගින් වතු සමාගම් වෙත එම ඉඩම් පවරා ඇත්තේ ඒවායේ පාලන කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යෑමේ අරමුණින් සහ වතු කම්කරුවන් වෙනුවෙන් තම වගකීම් ඔවුන් ඉටු කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් බවද අමාත්‍යවරයා  පෙන්වා දෙන ලදී. 
     
    වතු සමාගම් ගැන තව දුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා මුලදී රජයේ ප්‍රතිපත්තිය වූයේ එක් වතු සමාගමකට අක්කර පන්දහස බැගින් ලබා දීමට බවත්, පසුගිය වකවානුවේදී මෙම තීරණය වෙනස්  කොට ඇතැම් වතු සමාගම් වලට අක්කර 20,000 කටත් වඩා වැඩි අක්කර ගණනක් පවරා දී ඇති බව පෙන්වා දෙන ලදී. නමුත් එම වතු සමාගම් රජය අපේක්ෂා කරන අරමුණ කරා ගමන් නොකරන බව පෙනෙන්නට ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙන ලදී.
     
    එබැවින්, වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීමට එකග නොවන සහ, රජය බලාපොරොත්තු වන ඉලක්ක සපුරාලීමට නොහැකි වතු සමාගම්  නැවත රජයට භාර දෙන ලෙස දැනුම්දුන් අමාත්‍යවරයා එසේ නොවන්නේ නම් එවැනි සමාගම්ද රජය යලි පවරා ගන්නා බව පැවසීය.
     
    පේරාදෙණිය ගන්නෝරුව පැලෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවති මෙම සම්බන්ධිකරණ කමිටු රැස්වීම සදහා සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජතයන් රැසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා ඇතුළු රජයේ නිලධාරින් රැසක්ද සහභාගී වුහ.
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya