මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක් එක් අයට අවශ්‍ය පරිදි ඖෂධ මිල තීරණය කරන්න බැහැ

    මාර්තු 04, 2015

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ගෙන ඒමෙන් පසු එක් එක් අයට අවශ්‍ය පරිදි ඖෂධ මිල තීරණය කළ නොහැකි බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින්ය.


    ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සැකසීම සඳහා මහාචාර්ය සේනක බිබිලේ සහ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහතා සුවිශේෂී උත්සාහයක් දැරුවා. ඔවුන් දෙදෙනාගෙන් සිදුවූ සේවය අතිවිශාලයි. මහාචාර්ය සේනක බිබිලේ සහ එස්.ඒ. වික්‍රමසිංහ මහතාගමෙරට දර්ශනය මනෝරාජික සංකල්පයක් ලෙස දකින්නට ඇතැමුන් උත්සාහ කරනවා.


    ඉදිරි වසර තුන ඇතුළත ඖෂධ හා ඊට අදාළ උපකරණ, ගෝස්, සේලයින් මේ සෑම දේ මෙරට නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මහාචාර්ය සේනක බිබිලේ හා එස්.ඒ. වික්‍රමසිංහ මහතා අපේක්ෂා කළ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මගින් ඉදිරිපත් කළ බොහෝ දේ ඖෂධ පනතට ඇතුළත් කර තිබෙනවා.

     

    ඖෂධ සම්බන්ධයෙන් තත්ත්වය පරීක්ෂා කිරීමේ ලැබ් එකක් අපට තිබුණේ නැහැ. නමුත් එය ඇති කර ගුණාත්මක තත්ත්වයකට පත්කිරීමට අපි අපේක්ෂා කරනවා. වෙළෙඳ නාම සම්බන්ධයෙන් යම් තීන්දුවකට පැමිණ තිය්‍නෙවා. මේ රටට අවශ්‍ය සියලු ඖෂධ මෙරට නිෂ්පාදනය කළ යුතුයි.

    චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය බලයට පත් වුණාට පසු 1996දී නැවත ඖෂධ ප්‍රතිපත්තිය ගැන කතා වුණා. නමුත් ඉදිරියට ගියේ නැහැ. 2005 සහ 2007 නැවත එය කතාබහට ලක්වුණා. නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පනත ක්‍රියාවට නැංවීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ගයක් ගත්තා. මේ පනත සැකසීම සහ ක්‍රියාවට නැංවීම වෙනුවෙන් මහාචාර්ය පාලිත අබේකෝන් මහතා ඇතුළු බොහෝ පිරිසක් දැඩි වෙහෙසක් දැරුවා. ඒ සියලුදෙනාට අපගේ ප්‍රණාමය පිරිනැමිය යුතුයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියට සාමාජිකයන් 13 දෙනෙකු පත් කරනවා. මේ අධිකාරියට ස්වාධීන පැවැත්මක් තියෙනවා. මේ අධිකාරියට මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, සියලු රෝගවලට අදාළ වෛද්‍යවරුන් ඇතුළු විද්වත් පිරිසක් පත් කර තියෙනවා.

    ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සියලු දේ සාධාරණ ලෙස මිලදී ගැනීම පනතේ එක් අරමුණක්. අධිකාරියේ සභාපතිවරයා පත්කිරීමේ බලය තිබෙන්නේ මටයි. නමුත් ඒ සඳහා තනි බලයක් අවශ්‍ය නොවන බව මා කියා සිටියා. අධිකාරිය සම්බන්ධයෙන් අඩු අයිතියක් විෂයභාර අමාත්‍යවරයාට තිබිය යුතුයි.

    ඒ වගේම ඖෂධ පිළිබඳ මිල පාලනයක් තිබිය යුතුයි. ඖෂධ ක්ෂේත්‍රයට සම්බන්ධ වන අය සිතිය යුතු කරණු තියෙනවා. එනම්, තම වාණිජ අරමුණු ඉටුකර ගැනීම මෙන් ම ජනතාව වෙනුවෙන් ඖෂධ නිපදවීම තමන් සිදු කරන බව, මින් පසු එක් එක් අයට අවශ්‍ය පරිදි ඖෂධ මිල තීරණය කරන්න බැහැ. ඖෂධ සඳහා මිල පාලනක් ඉහත අධිකාරිය මගින් සිදු කරනවා.

    ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම ද සිදු කෙරෙනවා. එමෙන්ම ඉදිරියේදී සියලු ඔසු සැල් නියාමනයට ලක් කරනවා. මහජනතාවගේ සෞඛ්‍යයට අදාළ කාරණා සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා.

    අධිකරණය අපට ලබා දී ඇති සංශෝධන කෙරෙහි අප අවධානය යොමු කරනවා. අප මේ පනත ඉදිරිපත් කරන්නේ විවෘත මනසකින්. කිසිදු පටු අරමුණක් නැහැ. මේ පනත සම්බන්ධයෙන් සියලු දෙනා ලබාදෙන සංශෝධන අප ඉදිරිපත් කරනවා යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya