අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක හිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය ජනපති සහභාගිත්වයෙන්

    මැයි 05, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහා නිකායේ අභිනව මහා නායක ධූරයෙන් පිදුම් ලැබූ බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත එම නිකායේ මහා නායක ධූරය පිළිබඳ අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (04) පස්වරුවේ මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේදී සිදු කෙරිණි.

     

    අබිනව මහානායක හිමියන් වෙත අක්ත පත‍්‍ර ප‍්‍රදානය කිරීම අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක දවුල්දෙන ශී‍්‍ර ඤාණිස්සර මහා නාහිමියන්ගේ අතින් සිදු කෙරුණු අතර විජිනිපත පිළිගැන්වීම ත්‍රීකුණාමලේ ආනන්ද ස්වාමින්වහන්සේගේ මෑණියන් වන එච්.ඩබ්ලිව්. ඇලන්සිනා මහත්මිය විසින් සිදුකරන ලදී. මේ අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහානායක හිමියන් වෙත විශේෂ තිළිණයක් පිළිගැන්වීය.


    අමරපුර ශී‍්‍ර ධම්මරක්ෂිත මහානිකායේ මහානායක ත්‍රීකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සම්පාදනය කළ “අනඳ පබසර” කලාපයේ මෙන්ම කුමාරතුංග මුනිදාස මහ පඬිරුවන සහ අනඳ අභිනද ශාස්තී‍්‍රය ග‍්‍රන්ථ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.


    ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධාන මහා සංඝරත්නය ද අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණර්ධන, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අගවිනිසුරු මොහාන් පීරිස් යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

    මේ වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පණිවුඩය:


    අමරපුර ශී‍්‍ර ධම්මරක්ෂිත මහා නිකායයේ මහානායක ධුරයෙන් පිදුම් ලබන බම්බලපිටිය, සිරි වජිරාරාමාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති අතිපූජ්‍ය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට, මෙම සුමඟුල් අවස්ථාවේ ඒ සඳහා නිකුත් කරනු ලබන අභිනන්දන ආශිර්වාද කලාපයට සුබ පැතුම් පණිවුඩයක් එවීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.


    බෝධිසත්ත්ව ගුණෝපේත අපවත් වී වදාළ ශී‍්‍ර ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මාහිමිපාණන් වහන්සේගේ හා වත්මන් සිරි වජිරඤාණ ධර්මායතනාධිපති අතිපූජ්‍ය අම්පිටියේ ශී‍්‍ර රාහුල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද සිරි වජිරඤාණ ධර්මායතනය ව්‍යක්ත විනීතාදී සගුණයෙන් පිරිපුන් රට දැය සමයට වැඩ වඩමින් සම්බුද්ධ ශාසනය පෝෂණය කිරීමට සමත් භික්ෂූන් වහන්සේ රටට දායද කිරීමේ අරමුණින් පිහිට වු අතර මෙම සත් ව්‍යාපාරය දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ව්‍යාප්තව ඇති බව සතුටින් සඳහන් කරනු කැමැත්තෙමි.


    බුදුරජාණන් වහන්සේ ගේ උතුම් අවවාදයට අනුගතව උජුපටිපන්නාදී සංඝසෝභන ගුණයෙන් අප්පිච්ජතා හා සන්තුට්ඨිතා ගුණයන්ගෙන් පෝෂිතව අනතිමානී ගුණයෙන් තම ශ‍්‍රමණ දිවිය සරුකර ගනිමින් ආදර්ශවත්ව තම ආචාර්යොත්තමයන් වහන්සේ විසින් දියත් කරන ලද “මිනිහා නො හදා රට හදන්නට බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පය උන් වහන්සේගේ අනුජාත ශිෂ්‍ය රත්නයක් ලෙසින් පොදුවේ සමස්ත සමාජයට නායකත්වය ලබා දෙමින් සජීවීකරණය කරනු දැක්ම ගිහි පැවිදි හැමගේ බලාපොරොත්තුව යි.


    චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයටත්, ශී‍්‍ර ලංකාද්වීපයට හා සමස්ත ලෝකයාටත් මහානීය මෙහෙවරක් සිදු කරන්නට අතිපූජනීය අභිනව මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ති‍්‍රවිධ රත්නයේ අනන්ත ගුණබල මහිමයෙන් දිගාසිරි සැලසේවා!යි මෙත් සිත් පෙරටුව ප‍්‍රාර්ථනා කරමි.

     

    NDH/pmu-pix by Chandana Perera

     

    02 1

     

    03

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya