මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලනඥයා පිරිසිදු අවංක පුද්ගලයෙක් වන විට රාජ්‍ය ආයතන දූෂණයෙන්, වංචාවෙන් තොර පිරිසිදු ආයතන බවට පත්වෙනවා - ජනපති

    පෙබරවාරි 27, 2015
    රාජ්‍ය ආයතනවල ප‍්‍රගමනයට දේශපාලන නායකත්වය ඍජුව බලපාන බව පැවසූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා දේශපාලනඥයා පිරිසිදු අවංක පුද්ගලයෙක් වන විට රාජ්‍ය ආයතන දූෂණයෙන්, වංචාවෙන් තොර පිරිසිදු ආයතන බවට පත්වන බව පැවසී ය.
     
    රාජ්‍ය ආයතනවල තිබිය යුතු විනිවිදභාවය දැඩිව සුරැකීමට වත්මන් රජය සුදානම් බව ද අවධාරණය කළ ජනාධිපතිතුමා රටට මුදල් උපයන ජාතික සම්පත් තුළ දුෂණය, වංචාව පිටුදැකීම සියලුදෙනාගේ වගකීම බව ද පැවසී ය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසුවේ, කොළඹ නැව් තටාකාංගනය විසින් නිෂ්පාදනය කළ එම් වී ලැගූන්ස් මගී නාවුක යාත‍්‍රාව ඉන්දීය රජය වෙත භාරදීම වෙනුවෙන් ඊයේ (26) පස්වරුවේ කොළඹ නැව් තටාකාංගනයේ පැවති උත්සවය අමතමිනි. 
     
    පසුගිය රජය සමයේ කොළඹ වරායේ සිදු වූ මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් ශ‍්‍රී ලාංකේය පුරවැසියෙකු වශයෙන් තමන් මහත් කණගාටුවට පත් වන බව ද මෙහිදී ජනාධිපතිතුමා පැවසී ය.
     
    හම්බන්තොට වරායේ ණය ගෙවීම සඳහා කොළඹ වරායෙන් ලැබෙන ආදායමෙන් වැඩි කොටසක් යෙදවීමට සිදුව ඇති බවත් මේ තත්ත්වය උදා නොවුනා නම් ඒ සියලු ආදායම් රටටත්, රටේ ජනතාවටත් හිමි වන බවත් කියා සිටියේ ය. 
     
    අලුත් ආකල්පවලින් වැඩ කිරීමට රජය සූදානම් බැවින් හෙට උපදින දරු පරපුර වෙනුවෙන් සියලු දෙනා තම වගකීම හඳුනාගෙන කටයුතු කළ යුතු බව ද ප‍්‍රකාශ කළේය. 
     
    මගීන් 400කට පමණ ගමන් කළ හැකි අති නවීන පහසුකම්වලින් මෙම නෞකාව සමන්විත ය. මගී ආරක්ෂාව තහවුරු කිරීමේ ජාත්‍යන්තරිකව පිළිගත් ක‍්‍රමවේදයන්ට සෑම අතින් ම අනුගතව මෙම නෞකාව සැලසුම් කර ඇති අතර පුද්ගලික ආරක්ෂණ උපකරණ, ජීවිත ආරක්ෂණ සහ මුදාගැනීමේ බෝට්ටු ආදී සෑම ආරක්ෂණ උපකරණයක් ම මෙහි පවතී. 
     
    දේශීය ඉංජිනේරුවන්ගේ තාක්ෂණය සහ ශිල්පීය දක්ෂතාව ලොවට විදහාපාන සුවිශේෂී අවස්ථාවක් ලෙස මෙම මගී නෞකාව බාරකිරීම සනිටුහන් කෙරෙයි. 
     
    දේශීය ඉංජිනේරුවන්ගේ ඥානය හෙළි කරන මෙම අවස්ථාව මාතෘභූමියේ උදාරත්වය ලෝකයට පෙන්නුම් කරන්නක් බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ ය. 
     
    ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩල සභාපති උපුල් ජයසූරිය, කොළඹ නැව් තටාකාංගනයේ සභාපති ආචාර්ය ටෝරු ටකේරා, ඉන්දීය රජය වෙනුවෙන් වරාය, නාවික හා ගුවන් අධ්‍යක්ෂ ශ‍්‍රී රජීව් රංජන් සින්ග් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya