මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය සංචාරය ඉතා සාර්ථකයි, ප‍්‍රතිඵලදායකයි - ජනපති මෛතී‍්‍ර

    පෙබරවාරි 17, 2015

    තම ඉන්දීය සංචාරය ඉතාම සාර්ථක හා ප‍්‍රතිඵලදායක සංචාරයක් වු බවත්, එමඟින් දෙරට අතර මිත‍්‍රත්වය වර්ධනය තහවුරු වු බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.

    මාර්තු මාසයේ සිදුවීමට නියමිත ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ සංචාරය ශී‍්‍ර ලංකාවට ගෞරවයක් අත්කර දෙනු ඇති බවත් ජනාධිපතිතුමා පවසයි.

     

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16)ඉන්දියාවේ හයිද්‍රාබාද් නිවසේදී අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා සමඟ එකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

     

    අප අද සිටින්නේ අපේ ද්විපාර්ශවික සබඳතා අලුත් මට්ටමකට රැගෙන යාමේ පෙර නොවු විරූ අවස්ථාවක බවත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංචාරය අපව එම මාවත වෙත ස්ථිරව ගෙන යන්නක් යැයි සිය නිවේදනයේදී ඉන්දීය අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා පැවසීය.

     

    ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලැබූ ජනවරම ශී‍්‍ර ලංකාවේ සාමුහිකත්වයයේ හඬ සහිත වුවක් බවත් එය එකමුතු, සියල්ලන් ඇතුළත් සාමාකාමී හා සෞභාග්‍යමත් ජාතියක් සඳහා වු ජනතා අපේක්ෂාව නියෝජනය කරන්නක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සම්පූර්ණ කතාව මෙසේය,

     

    “ශී‍්‍ර ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන් මම පත්වීමෙන් පසුව ඉතාම කෙටි කාලයක් තුළ පළමු විදේශ සංචාරය වශයෙන් මා තෝරා ගත්තේ ඉන්දියාව. එසේත් නැත්නම් මහා භාරත ය. ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතරේ තිබෙන්නා වු සම්බන්ධතාවය ඉතාමත්ම දීර්ඝ කාලීනයි. එය වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත වූවක්. බෞද්ධයන් විදියට අපි කතා කළොත් බුදුන්වහන්සේගේ දර්ශනය තුළත්, ඒවගේම හින්දු ආගමික දර්ශනය තුළත්, ඇත්තේ ඉතාම සමීප වු සම්බන්ධතාවයක්.

     

    ඒ වගේම ශී‍්‍ර ලංකාව බෞද්ධ සහ හින්දු බැතිමතුන්ගෙන් පූර්ණ වු රටක් විදියට ඉන්දියාව සමඟ තිබෙන ඓතිහාසික සම්බන්ධතාවය සංස්කෘතික, ආර්ථික, වෙළෙඳ, ආරක්ෂක මේ සියලුම අංශ හරහා ව්‍යාප්ත වූවක් බව අපි ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට අවශ්‍යයයි.

     

    ඒ නිසා අද අපි පවත්වන ලද සාකච්ඡා, විශේෂයෙන්ම දිල්ලියට පැමිණීමෙන් පසුව මා සහ මගේ නියෝජිත පිරිස ඉතාමත්ම උණුසුම්ව පිළිගැනීමත් සමග අප වෙත සුහදතාවය පළ කෙරුණා. ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කරමින්, අපි ඉතාමත්ම යහපත් වූ සතුටුදායක, ශක්තිමත් සුහදතාවයත්, සහෝදරත්වයත් සහ මිත‍්‍රත්වය ගොඩනගා ගැනීමට අපිට පුළුවන්කම ලැබුණා.

     

    ඒ වගේම එක් එක් අංශ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටත්, අපට හැකියාව ලැබුණා. ඉන්දීය අග‍්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා මාර්තු මාසයේ ශී‍්‍ර ලංකාවට පැමිණීම අප ඉමහත් සතුටින් බලාපොරොත්තු වන අවස්ථාවක්. එතුමාගේ පැමිණීම අපි සලකන්නෙ අපේ රටට කරන ගෞරවයක් සහ ආශිර්වාදයක් වශයෙන්. දෙරට අතරේ මිත‍්‍රත්වය තහවුරුවීම, ශක්තිමත්වීම, වගේම ජාතික වශයෙන් සංවර්ධනයට බලපාන්නා වු කරුණුත් අන්තර් ජාතික වශයෙන් මිත‍්‍රත්වය වැඩි දියුණු කිරීම හා අන්තර්ජාතික කටයුතුවලදී එකඟතාවයකින් කටයුතු කරමින් ද්විපාර්ශ්වික සබඳතා තුළ වඩාත් ශක්තිමත් ඉන්දීය - ශී‍්‍ර ලංකා මිත‍්‍රත්වයක් තුළ අපේ කටයුතු කිරීමේ හැකියාව ඉතාමත්ම පැහැදිලි තිබෙනවා.

     

    ඒ නිසා අපිට දීර්ඝ කාලයක තිබෙන අත්දැකීම් සමග ආර්ථික සංවර්ධනය, සංස්කෘතිය රාජ්‍ය ආරක්ෂාව, තොරතුරු තාක්ෂණය, වෙළෙඳ, කෘෂිකර්ම, අධ්‍යාපනය වැනි අංශ ගණනාවක් සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා. මේ වන විටත් ඇතැම් අංශ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් අත්සන් කරමින් අපි ඉතාමත් හොඳ ප‍්‍රගතියක්, ප‍්‍රවේශයක් ලබලා තිබෙනවා.

     

    ඒ නිසා මගේ පළමු විදේශ සංචාරය වන මෙම ඉන්දීය සංචාරය ඉතාමත්ම සාර්ථක, ප‍්‍රතිඵලදායක සංචාරයක් මෙන්ම දෙරට අතරේ මිත‍්‍රත්වය වර්ධනයවීම, තහවුරුවීම ඒ තුළ සිදුවුණා. එමෙන්ම ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා ප‍්‍රමුඛ ඒ සියලු දෙනාම අපි පිළිගනිමින් අපිට කරන ලද ගෞරවය මෙන්ම පළ කරන ලද සුහදතාවය පිළිබඳව අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා.“ යැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.

     

    PRIU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya