මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට දවසේ අභියෝග අද දවසේ බාධාවක් කරගත යුතු නැහැ - ජනපති

    පෙබරවාරි 09, 2015
    අප කළ යුත්තේ හෙට දවසේ ඇති අභියෝග පිළිබඳ සිතමින් කල්ගත කිරීම නොව එම අභියෝග සිහියේ තබාගෙන අද දවසේ පැවරී තිබෙන්නා වූ කාර්ය භාර්ය නිසි ලෙස ඉටු කිරීම බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    එක්සත් ජාතික පක්ෂයෙන් ප‍්‍රබල සහයෝගයක් ලබාගෙන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය දරන තමා එළැඹෙන මහ මැතිවරණයේ දී වේදිකාවට නඟින්නේ කෙලෙසදැයි ඇතමුන් තමන්ගෙන් ප‍්‍රශ්න කරන බව පැවසූ ජනාධිපතිතුමා එම මැතිවරණයේ දී වඩා වැදගත් වන්නේ වේදිකාව නොව ජනවාරි 08දා ජනතාව ලබාදුන් බලය තුළ ජනතා පොරොන්දු ඉටු කරීමට රජය ගත්තා වූ කි‍්‍රයාමාර්ග බව තමා ඔවුන්ට පෙන්වා දෙන බවද පැවසීය.
     
    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සියනෑ කෝරළයේ ජනතාවට ජනාධිපතිතුමාගේ උපහාරය පුද කිරීම වෙනුවෙන් සංවිධානය කළ, ජනතා අභිනන්දන උත්තමාචාර උළෙලට, ඊයේ (08) පස්වරුවේ නිට්ටඹුව මහජන කි‍්‍රඩාංගණයේ දී එක් වෙමිනි.
     
    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
     
    එක්සත් ජාතික පක්ෂයට සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට ඉතිහාසයේ ඇති අත්දැකීම් සමඟ අද නව මුහුණුවරකින් නව වැඩපිළිවෙළක් කරා රජය ගමන් කරමින් සිටින බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනතා අභිලාෂයන් නිසි ලෙස හඳුනාගමින් රටට අවශ්‍ය පරිවර්තනය සිදු කිරීමට කැපවන බවද අවධාරණය කළේය.
     
    ඩී.එස් සේනානායක මැතිතුමා සහ එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා වැනි මේ රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකක නායකයන් බිහි කළ සියනෑ කෝරළය මේ රටේ දේශපාලනයේ පූජනීය වූ ප‍්‍රදේශයක් බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා එහි ජනතාව සමඟ තමා තුළ ඇත්තේ ද දැඩි සබැඳියාවක් බවද සිහිපත් කළේය.
     
    මේ රටට අවශ්‍ය දේශපාලන සමාජ සහ සංස්කෘතික මෙන් ම ආර්ථික පරිවර්තනයේ සැබෑ මෙහෙයුම්කරුවා ලෙස ඉතිහාසයට එක්වූ බණ්ඩාරනායක ශී‍්‍රමතාණන්ගේ යුග මෙහෙවර ද මෙහිදී කෘතවේදිව සිහිපත් කළ ජනාධිපතිතුමා ජනතාවට අවශ්‍ය පරිවර්තන රැසක් සමඟ නව රජය නිර්මාණය කිරීමට උරදුන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මෙහෙවර වෙනුවෙන් ද සිය කෘතඥතාවය පළ කර සිටියේය.
     
    ජනාධිපතිතුමා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට සියනෑ කෝරළයේ ජනතාවගේ උපහාරය පුද කරමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.
     
    අමාත්‍යවරුන් වන අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන යන මහත්වරුන් ද පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ සහ අජිත් මාන්නම්පෙරුම යන මහත්වරුන් ඇතුළු දිස්ති‍්‍රක්කයේ දේශපාලන නියෝජිතයන් රැසක් ද මිට එක්ව සිටියහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya