අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුගී බව තුරන් කිරීමත්, ජාතික සංහිඳියාවත් රජය හමුවේ ඇති අභියෝගයි - ජනපති

    පෙබරවාරි 04, 2015
    මේ රටේ දුගී බව තුරන් කිරීම රජයේ ප‍්‍රමුඛත ම අරමුණ බව  සඳහන් කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා දැනට සියයට 6.7ක් වන දරිද්‍රතා දර්ශකය පහළ මට්ටටමකට ගෙන ඒම සඳහා ආදායම් පරතරය අඩු කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 
     
    ඒ සඳහා රට තුළ දේශපාලන, ආර්ථික, සාමාජීය පරිවර්තනයක් ඇති කර ප‍්‍රබුද්ධ රාජ්‍යක් ගොඩ නැංවීම සඳහා මේ වන විටත් ප‍්‍රවේශයක් ලබා ඇති බව ද ජනාධිපතිතුමා පැවසීය.
     
    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව පැවසුවේ අද (04)  ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණ පරිශ්‍රයේ දී පැවැති 67 වන නිදහස් දින සංවත්සර උළෙල අමතමිණි. 
     
    විධායක ජනාධිපති ක්‍රමයේ ඇති බලතල ඉවත් කරමින් නව රජය ජනතාව හමුවේ තැබූ පොරොන්දු සියල්ල අනිවාර්යයෙන් ම ඉෂ්ඨ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
     
    2009 වසරේ දී මිලේච්ඡ ත‍්‍රස්තවාදය අපගේ වීරෝධාර රණ විරුවන් පරාජය කළත් උතුරේ සහ දකුණේ ජනතාවගේ සිත් සතන් එක් කිරීමේ ජාතික සංහිදියා වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමේ අභියෝගය තවදුරටත් පවතින බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    රාජ්‍ය සේවය ශක්තිමත් කර අපක්ෂපාති රාජ්‍ය සේවයක් ඇති කිරීමටත්,  නව රජය පොරොන්දු වු පරිදි ශ්‍රී ලාංකික ජනතාවගේ දූගී බව පැහැදිළි ලෙස අඩු කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙරට කෘෂිකාර්මික රටක් වශයෙන් දේශීය කෘෂිකර්මයට නැවුම් බවක් එකතු කරන බවත්, කෘෂිකර්මය නව තාක්ෂණය සමඟ අත්වැල් බැඳගෙන ප්‍රබුද්ධ රටක් ලෙස ඉදිරියට ගෙන යන බවද පෙන්වා දුන්නේය.
     
    ඇති නැති පරතරය අඩු කරමින් මෙන් ම ආර්ථික හා නව තාක්ෂණය සමඟ, මධ්‍යස්ත විදේශ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන අතරතුර එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥ්ඥප්තිවලට අනුකූල වෙමින් ජාත්‍යන්තරය සමග අත්වැල් බැද ගැනීම රජයේ ප‍්‍රතිපත්තිය බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
     
    රට පාලනය කළ දේශපාලන නායකයන් සහ දේශපාලන පක්ෂ දෙසට ඇගිල්ල දිගු කිරීම නොව වැරදුණු තැන් නිවැරදි කරගනිමින් ඉදිරියට ගමන් කිරීම වර්තමානයේ වගකීම බවත් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
     
    නව පරපුරේ සිතුම් පැතුම් නිසි ලෙස අවබෝධ කර ගත් රජයක් ලෙස ඔවුන් නව තාක්ෂණය හා බද්ධ කරමින් නව ලෝකය සමග එක් කිරීමේ භාරදුර වගකීම රජය බාරගෙන ඇත. 
     
    ජාතික නිදහස් දින උළෙල ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති ජයවර්ධනපුර පුරවරයේ ජනතා පරමාධිපත්‍ය තහවුරු කරන පාර්ලිමේන්තු සංකීර්ණය අභියස සිට පැවැත්වීමට ලැබීම සතුටට කරුණක් බවත් පෙන්වා දුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වසර 67කට පෙර ලබාගත් නිදහස සමරනු ලබන මෙම අවස්ථාවේ දී ඒ සඳහා පුරෝගාමීවූවන් සිහිපත් කිරීම වගකීමක් හා යුතුකමක් වන බවද පෙන්වා දුන්නේය.
     
    ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ දී දිවි පිදු සහ ආබාධිත වූ රණ විරුවන් සිහිපත් කළ ජනාධිපතිතුමා 1818 සහ 1848 කැරැල්ලේ දිවි පිදු ජාතිමාමකයන් ද සිහිපත් කළේය. එසේම නිදහස් අරගලයේ පුරෝගාමීන් සිහිපත් කිරීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
     
    තවද පසුගිය කාලයේ පැවති ජාතික මට්ටමේ ප්‍රශ්න මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තරය සමඟ මධ්‍යස්ථ ලෙස අත්වැල් බැඳගනිමින් රට පුළුල් සංවර්ධනයක් කරා ගෙන යන බවද ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් කියා‍ සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya