මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ නිල කාලය වසර පහකට සීමා කරනවා - ජනපති

    ජනවාරි 27, 2015

    මෙතෙක් වසර හයක්ව පැවති ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය නව ව්‍යවස්ථා සංශෝධන මඟින් වසර පහක් දක්වා අඩු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැවැසීය.

    ජනාධිපතිවරයාගේ නිල ධුර කාලය වසර 4ට සීමා කළ යුතුයි යන්න සිය මතය වූවත් ව්‍යවස්ථා සංශෝධන කමිටුව එම තීරණය සම්බන්ධව එකඟ නොවීම හේතුවෙන් ජනාධිපතිවරයෙකුගේ නිල ධුර කාලය වසර 5කට සීමා කිරීමට සිය එකඟතාව පළ කළ බවද ජනාධිපතිවරයා ඊයේ (26) තෝපාවැව ක්‍රීඩාංගණයේ දී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් අමතමින්  ප්‍රකාශ කළේය.

     

    විධායක ජනාධිපතිවරයෙකු සතු අසීමිත බලය ව්‍යවස්ථාදායකයට පැවරිය යුතු ආකාරය පිළිබඳව ව්‍යවස්ථා සංශෝධන කමිටුව සාකච්ඡා කරමින් සිටියි.

     

    අප්‍රිකානු නිදහස් සටනේ නායක සහ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා වසර 27ක් සිරගෙයි සිට නිදහස ලබා  දකුණු අප්‍රිකාවේ ජනාධිපති ධුරයට පත් වූ පසු එතුමා බලයේ සිටි වසර 4 තුළ නිදහස් අප්‍රිකාවේ ඉදිරි ගමනට අවශ්‍ය සියලු ව්‍යවස්ථාදායක සංශෝධන තහවුරු කර ජනපති ධුර කාලය වසර 4කට සීමා කළ බව ජනාධිපතිතුමා එහි දී අවධාරණය කළේය.

     

    ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මැතිතුමා ඔහුට එරෙහිවූවන්ට මිතුරන් සේ සලකා කටයුතු කළාක් මෙන් සිය ප්‍රතිපත්තිය ද මැතිවරණ සමයේ තමන්ට එරෙහිවූවන්ව ද රට ගොඩනැගීමේ සිය ඉදිරි ගමනට හවුල් කර ගැනීම බව ද ජනපති පැහැදිලි කළේය.

     

    සිය දේශපාලන සබඳතා මත කිසිවෙකුට කිසිම නිල නාමයක් හෝ තනතුරුක් ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ස්ථිර ලෙස කියා සිටියේය.

     

    තනතුරු නිල නාම ලබා දෙන්නේ උචිත නිපුණත්වයකින් හා අවංකභාවයෙන් යුතු සුදුසුකම් ඇති සුදුස්සාට පමණක් බවත් ඔහු අවධාරණය කළේය.

     

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය මැතිවරණ ව්‍යාපාරය සිදු කළ සමයේ පාලන තන්ත්‍රයේ විවිධ ව්‍යවස්ථාමය සංශෝධන හා නව රෙගුලාසි රැසක් ජනතාව හමුවට ගෙන ආ අතර එයින් ව්‍යවස්ථාදායකය සංශෝධනය, නිදහස් තොරතුරු ප්‍රකාශ කිරීම සහ දූෂණ වංචාවන්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කිරීම යන ප්‍රතිපත්ති නව රජයට ප්‍රමුඛ විය.

     

    හිටපු රාජ්‍යතන්ත්‍රය පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ අතර දීර්ඝ කාලයක් පැවතුණු නිදහස් සාධාරණ මැතිවරණ ප්‍රතිපත්ති උල්ලංඝණය කිරීමට උත්සහ දැරූ බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළේය.

     

    පසුගිය වසර කිහිපයේ රාජ්‍ය සේවය පෙර නොවූ විරූ ලෙස පිරිහීමකට ලක්ව තිබෙන අයුරු පෙනී ගිය බවත්, හිටපු රජයේ ජනාධිපති අපේක්ෂකයා දිනවීමට දේශපාලන පක්ෂයක් ලෙස රාජ්‍ය සේවය මැතිවරණ ව්‍යාපාරයට යොදාගත් ආකාරය රටේ මහජනතාව හොඳින්ම දුටු බවත් ඔහු පවසා සිටියේය. මෙය පෙර නොදුටු තත්ත්වයක් වන අතර ඊට පෙර බලයේ සිටි කිසිඳු දේශපාලන පක්ෂයක් දේශපාලන ව්‍යාපාරය සඳහා මෙලෙස රාජ්‍ය සේවකයන් යොදා නොගත් බවත් ජනාධිපතිතුමා කීවේය.

     

    තමා තරග කළ ජනාධිපතිවරණයේ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවත් ඒ සඳහා තමාව ඉලක්ක කරගනිමින් රාජ්‍ය මාධ්‍ය යොදා ගනිමින් තමන්ට අපහාස කිරීමට විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වූ බවත් ජනාධිපතිතුමා එහි දී සිය කතාව අතරතුර සඳහන් කළේය.

     

    හිටපු රජය තරම් රාජ්‍ය දේපල හා බලය මැතිවරණයක් සඳහා යොදා ගත් කිසිම දේශපාලන පක්ෂයක් ඉතිහාසයේ නොසිටි බව වැඩිදුරටත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya