මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය නිලධාරීන් ලෙස මහජන අවශ්‍යතාවන් ඉටුකර ඔවුන්ගේ සිත් දිනාගැනීමට කටයුතු කරන්න -ජනපති

    ජනවාරි 20, 2015
    අල්ලස, දූෂණය, නාස්තිය, අක‍්‍රමිකතාව සම්පූර්ණයෙන්ම වැලැක්වීම සහ පිටුදැකීමත් රාජ්‍ය නිලධාරීන් වශයෙන් මහජන අවශ්‍යතාවන් ඉටුකර ඔවුන්ගේ සිත් දිනාගැනීමට කටයුතු කිරීමත් අප සැමගේ වගකීමක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.
     
    ජනාධිපතිතුමා මේ බව පවසා සිටියේ ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී නව අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
     
    පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතාව වෙත ඉදිරිපත් කළ මැතිවරණ ප‍්‍රකාශනය පිළිගනිමින් ජනතාව අපිව බලයට පත්කර ඇති නිසා ඔබේ මූලික ම වගකීමක් වන්නේ මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන ඒ කරුණු ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම බව ද නව ලේකම්වරුන් හමුවේ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
     
    රජය විදියට ගන්නා වූ ප‍්‍රතිපත්ති, තීරණ වගේම ප‍්‍රායෝගික කරුණු සහ සැලසුම් අනුව එම කාර්යයන් සඳහා නිසි ලෙස අධිෂ්ඨානශීලීව, ඉවසිලිසහගතව එම කාර්යය ඔබ සියලු දෙනා අතින් සිදු වෙනු ඇතැයි ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
     
    අමාත්‍යංශ නව ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය කිරීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පවත්වන ලද කතාව මෙසේය. 
     
    "මුලින්ම ඔබ සියලු දෙනාටම මම සුබ පතනවා, ආශිර්වාද කරනවා. ඔබට පවරනු ලැබූ වගකීම ඉතාම උසස් ලෙස ඉටුකිරීම සඳහා සියලු ආකාරයෙන්ම අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා. 
     
    අපි නව රජයක් හැටියට ඔබ සෑම කෙනෙක් කෙරෙහිම විශාල විශ්වාසයක් තබලයි මේ තනතුර ඔබට ලබා දීලා තිබෙන්නේ. පසුගිය ජනාධිපතිවරණයේ දී මේ රටේ ජනතාව ලබාදුන් ජනවරම අනුව අපි ජනතාවට ඉදිරිපත් කළ අපේ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය පිළිගනිමින් ජනතාව අපිව බලයට පත් කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබේ මූලිකම වගකීමක් වෙනවා අපි ජනතාවට ලබා දුන්න ඒ ප‍්‍රතිඥාව, පොරොන්දු අනුව මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන ඒ කරුණු ක‍්‍රියාත්මක කිරීම සඳහා.
     
    රජය විදියට ගන්නා වූ ප‍්‍රතිපත්ති, තීරණ ඒ වගේම ප‍්‍රායෝගික කරුණු සහ සැලසුම් අනුව එම කාර්යයන් සඳහා නිසි ලෙස අධිෂ්ඨානශීලීව, ඉවසිලිසහගතව එම කාර්යය ඔබ සියලු දෙනා අතින් සිදු වෙනු ඇතැයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. 
     
    අමාත්‍යංශ ලේකම්වරුන් විදිහට කටයුතු කිරීමේ දී විශේෂයෙන්ම පසුගිය මාස කිහිපය මේ රටේ රාජ්‍ය සේවය මම දකින්නේ ඛේදවාචකයක් විදියට. රාජ්‍ය සේවයේ තිබූ ප‍්‍රබුද්ධභාවය, විශිෂ්ටත්වය, පිළිගැනීම යහ පාලනයක් විදියට අමාත්‍යංශ ලේකම්වරුන්ට පැවරෙන වගකීම් වගේම යුතුකම් ඒවා බොහෝ දේ බිඳිලා විනාශ වූවා යැයි මම දකින්නේ. මගේ මතකයේ හැටියට අමාත්‍යංශ ලේකම්වරුන් පැහැදිලිවම දේශපාලන කටයුතු සඳහා අපේක්‍ෂකයෙකුගේ මැතිවරණ ව්‍යාපාරයේ ජයග‍්‍රහණය සඳහා සමහර විට උපදෙස් දීලා, සමහර විට නියෝග කරලා, සමහර විට නොයෙකුත් බලපෑම් කරලා, සමහර විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි දන්නවා මොන තරම් රාජ්‍ය සේවය පහත් තත්ත්වයට වැටෙන්න ඒ ඇති වෙච්චි සිදුවීම් උපයෝගී වුණා ද කියන කාරණාව. 
     
    ඒ වගේම මුළු මහත් රාජ්‍ය සේවයේ රාජ්‍ය සම්පත් සහ දේපළ, මහජන දේපළ දේශපාලන පක්‍ෂයක අවශ්‍යතා සඳහා, අපේක්‍ෂකයෙකුගේ අවශ්‍යතාව සඳහා, දේශපාලන පක්‍ෂයක උවමනාව සඳහා මොන තරම් පාවිච්චි වුණාද කියන කාරණය මට වඩා හොඳට ඔබ දන්නා වූ කාරණයක්. ඒ නිසා අපි ජනතාවට ලබාදුන්න ප‍්‍රතිඥාවේ පැහැදිලිවම කියලා තියෙන දෙයක් තමයි රටේ යහ පාලනයක් ඇති කරනවයි කියන කාරණාව. යහ පාලනයට අදාළ කරුණු මම හිතන්නේ මට වඩා හොඳින් ඔබ දන්නවා. ඒ නිසා යහ පාලනය කියන වචනය පැහැදිලි ලෙසම ඒ වචනයට සීමා වෙන්නේ නැතිව ක‍්‍රියාත්මක කිරීමේ දී ඔබට පැවරෙන්නේ විශාල වගකීමක්. ඒ වගේම යුතුකමක්.
     
    අපි කරන සියලු කටයුතුවල තිබිය යුතු විනිවිදභාවය ඉතාමත්ම වැදගත්. අල්ලස, දූෂණය, නාස්තිය, අක‍්‍රමිකතාවය සම්පූර්ණයෙන්ම වැලැක්වීම සහ පිටුදැකීම සඳහා ප‍්‍රධාන වගකීමක් ඔබ සතුව පවතින බව මම හිතන්නේ පැහැදිලිවම දන්නවා. ඒ නිසා රජයේ ආයතනවල යහ පාලනය කියන කාර්යයේ දී මූලික වශයෙන් අනෙක් පැත්ත මහජන සම්බන්ධතාව. මහජනයා බලාපොරොත්තු වන අවශ්‍යතාවන් අමාත්‍යංශ තුළින්, රාජ්‍ය නිලධාරීන් තුළින් ඉටුවීමේ දී ආයතන තුළට පැමිණෙන මහජනතාව එක් පැත්තකින් සතුටු කිරීම, තෘප්තිමත් කිරීම අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට තියෙන අත්දැකීම් අනුව එන සියලුදෙනා සතුටු කරන්න පුළුවන්කමක් නෑ. නමුත් අපි දැන ගන්නට  ඕන අපේ වගකීම සහ යුතුකම අපි අවංකභාවයෙන් වගේම ජනතාවගේ හිත් දිනා ගැනීම සඳහා අපි කෙසේද ඒ කාර්යය ඉටු කරන්නේ කියන වගකීම.
     
    ආයතනවලට එන මහජනතාව අතෘප්තිභාවයෙන් යනවා නම් බොහෝ වෙලාවට කියනවා එක වැඩක් සඳහා අපි දහ සැරයක් ආවා. පහළොස් සැරයක් ආවා. සමහර වෙලාවට කියනවා අපි සිය සැරේට වඩා ආවයි කියලා. ඒ නිසා තම තමන්ගේ අමාත්‍යංශවල මහජන සම්බන්ධතාවය පිළිබඳ ව එවැනි චෝදනා නොඑන ආකාරයට තමන්ගේ අමාත්‍යංශවල පරිපාලනය සහ කළමනාකරණය හැසිරවීම අමාත්‍යංශ ලේකම්වරයා සතු ප‍්‍රධාන වගකීමක් බවට පත් වෙනවා. 
     
    ඒ නිසා අපි ඉදිරියේ දී ගරු අගමැතිතුමාත්, අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කර විශේෂයෙන්ම රාජ්‍ය ආයතනවල මහජන සම්බන්ධතාව ගොඩනැගීම, ඒ වගේම මහජනතාවට සිදුවන සේවාවන් වඩාත් විධිමත්ව, සැලසුම්සහගතව, කාර්යක්‍ෂමව, ප‍්‍රමාදයකින් තොරව ඉටුකිරීම සඳහා අපි ඉදිරියේ දී බලාපොරොත්තු වන වැඩපිළිවෙළේ ප‍්‍රධාන වගකීම තිබෙන්නේ ඔබ සතුවයි. අනෙක් පැත්තෙන් ගත්විට රජයේ ආයතනවල, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තුවල, සංස්ථාවල කෙරෙන අනවශ්‍ය වියදම්. මේ අනවශ්‍ය වියදම්වල දී මගේ පෞද්ගලික අදහස නම් බොහෝ වෙලාවට අපි දකිනවා අමාත්‍යංශවල රජයේ ප‍්‍රචාරක කටයුතු සඳහා වැය කරන අතිවිශාල මුදල් ප‍්‍රමාණය. පුවත්පත්වල සම්පූර්ණයෙන්ම පිටු පුරවලා සමහර දවස්වලට පත්තරයක් අතට ගන්න බෑ ඒ තරම් බරයි. හැබැයි ඔක්කොම පිටු පුරවලා තියෙන්නේ රජයේ මුදල්වලින්. මගේ නම් ප‍්‍රතිපත්තිය විදියට මම ජනාධිපතිවරයා විදියට මගේ ආයතනවල කටයුතු කිරීමේ දී පත්තරවල පිටු පුරවන කාර්යය සම්පූර්ණයෙන් මම නවත්වනවා. අනෙක් අමාත්‍යංශවල ඒ කටයුතු ඒ අමාත්‍යවරුන් සතුයි ඒ පිළිබඳ වගකීමක් දැරීම. මම ඒකට අත ගහන්නේ නැහැ. නමුත් මම කිසිසේත්ම පත්තරවල පිටු පුරවන්න දෙන්නේ නැහැ ආයතනවල ප‍්‍රසිද්ධිය සම්බන්ධයෙන්. අනෙක් පැත්තෙන් ගත්විට මෙතන ජනමාධ්‍ය ලේකම් ඉන්නවා. මාධ්‍ය පාවිච්චි කිරීමේ දී ප‍්‍රධාන වශයෙන්ම මහජනතාවගේ ප‍්‍රශ්න වඩාත් සාකච්ඡාවීම අවශ්‍යයි මාධ්‍ය තුළ. 
     
    රාජ්‍ය මාධ්‍යවල ප‍්‍රධාන වගකීමක් තිබෙනවා මහජනතාවගේ ප‍්‍රශ්න ඉස්මතු කිරීම, ඒවා සාකච්ඡා කිරීම, ඒ වගේම අනවශ්‍ය විදියට රජයේ දේශපාලනඥයින්ට දිය යුතු ප‍්‍රචාරය අනවශ්‍ය විදියට ලබා නොදීම. මම හිතන්නේ රාජ්‍ය මාධ්‍ය තුළ මගේ සිට සියලු දෙනාට අනවශ්‍ය ප‍්‍රචාරය ලබා දුන්නොත් ඒක තමා පිරිහෙන්න ප‍්‍රධානම කාරණය. සාමාන්‍යයෙන් වටිනා භාණ්ඩයක් වුණත් වඩා නොපෙනෙන්න, හංගගෙන ඉන්න තරමට ඒකෙ වටිනාකම වැඩියි. ඒක හින්දා ඒක එළියට දාපුවම වටිනාකම අඩු වෙනවා. ඉතින් ඒක නිසා අපි හිතනවා සුදුසු ස්ථානවල සුදුසු පරිදි ඒ මාධ්‍ය තුළ පෙන්වීම තුළයි. නමුත් මහජනතාවට එපා වෙන විදියට රාජ්‍ය මාධ්‍ය විශේෂයෙන්ම ක‍්‍රියා කිරීමේ දී වගකීම, වඩාත්ම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වීම අවශ්‍ය වෙනවා. ඊළඟට පළාත් සභා සමඟ කටයුතු කිරීමේ දී ඔබ දන්නවා පළාත් සභා සහ රේඛීය අමාත්‍යංශ අතරේ තිබෙන්නා වූ වගකීම. එක් පැත්තකින් 13 වැනි සංශෝධනය. ඒ තුළ කටයුතු කිරීමේ දී පළාත් සභා සමඟ වඩාත් හොඳ මිත‍්‍රශීලීභාවයකින්, සුහදතාවකින් කටයුතු කිරීම අවශ්‍යයි. පළාත් 09ක පළාත් සභා අද ක‍්‍රියාත්මක වෙනවා. ඒ නිසා පළාත් නවයේම අද අපි එක රටක් විදියට කටයුතු කරමින්, සැම විටම සංවර්ධනය සම සේ බෙදී යාමත් සෑම අවස්ථාවකම ඒ ආයතනවල ඉතාම සාධාරණ සහ යුක්තිසහගත ලෙස ඉටුකිරීමත් ඉතාමත් අවශ්‍යයි. ඒ නිසා පළාත් සභා සමඟ කටයුතු කිරීමේ දී කිසියම් ආකාරයක ගැටලුසහගත තත්ත්වයන් ඇති නොවන සේ ඒ ඒ ආයතනවලට තිබෙන වගකීම් තේරුම් අරගෙන කටයුතු කිරීම වඩාත් සුදුසු බව පැහැදිලි කරන්නට  ඕනෑ.
     
    තවත් පැත්තකින් ගත්තහම මෙතන ඉන්නවා මගේ ජනාධිපති උපදේශකවරුන් කිහිප දෙනෙක්. ඒ ජනාධිපති උපදේශකවරුන්ට එක් එක් විෂයයන්, වගකීම් අපි භාර දීලා තිබෙනවා. ඒ අනුව මම විශේෂයෙන්ම එක් එක් අදාළ ආයතන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඔබට වුණත් යම් කිසි ගැටලුවක් මතුවුණහම සමහර වෙලාවට එක පාරටම, ඉක්මණින්ම මාව හමුවීමට ගැටලුවක් යම් බාධාවක් ඇති වුණොත්, ඒ කියන්නේ තිබෙන අවිවේකීබවත් එක්ක මගේ උපදේශකවරුන්ට කතා කරලා, ඔවුන් සමඟ යම් තොරතුරක් උපදෙසක් තිබෙනවා නම් ඒවා ලබා ගෙන කටයුතු කිරීම සුදුසුයි කියන එකයි මම අදහස් කරන්නේ. 
     
    ඒ නිසා මහජනතාව අපිට දීලා තිබෙන වගකීම අපි නිසි ලෙස ඉටුකරමින් එහිදී ඔබට තිබෙන දැනුම, අවබෝධය, බුද්ධිය සහ අත්දැකීම් සමඟ වඩාත්ම ඔබේ අපේ උතුම් මාතෘ භූමිය ලෝකයේ විශිෂ්ට ප‍්‍රබුද්ධ රටක් බවට පත් කිරීමේ වගකීම අප සියලු දෙනාටම පැවරිලා තිබෙනවා. ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා සහ අමාත්‍ය මණ්ඩලය සමඟ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අවශ්‍ය තීන්දු, තීරණ ගන්නවා. ඒ අනුව ඔබ දැනුවත් වෙමින් මේ කාර්යයන් නිසි ලෙස ඉටු වෙන බව මා දැඩි ලෙස විශ්වාස කරමින්, අද පත් වූ සියලු ම ලේකම්වරුන්ට නැවත වතාවක් සුබ පතනවා" යැයි ප්‍රකාශ කළේය.
     
    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya