මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමතිවරු රටට ආදර්ශයක් විය යුතුයි - ජනපති

    ජනවාරි 13, 2015
    ඇමතිවරු රටට ආදර්ශයක් විය යුතු බවත් අලුතින් පත් වූ ඇමතිවරු දූෂණ, වංචා සහ අක්‍රමිකතා සිදුකළහොත් තරාතිරම නොබලා එයට එරෙහි ව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ඇමතිවරු රටට ආදර්ශයක් වී පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතු බව පැවසූ ජනාධිපතිතුමා ඉදිරි දින 100 ඉක්මවීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වන බවත් ඉන් පසුව පිහිටුවන ආණ්ඩුවෙන් ස්ථිර ඇමති මණ්ඩලයක් පත්කරන බවත් පැවසීය.
     
    ජනාධිපතිතුමා මේ බව පැවසුවේ ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව ඇමති මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවයේදී ය. 
     
    දින 100කින් පසු මැතිවරණයක් එළඹෙන බව ඇමතිවරු සිහියේ තබා ගත යුතු බව සිහිපත් කළ ජනාධිපතිතුමා ප්‍රතිවාදී දේශපාලන පාක්ෂිකයන් එකතු කර ගැනීම ඉතා වැදගත් බවත් අපට ඡන්දය භාවිත නොකළ ජනතාව මිතුරු කරගත යුතු බවත් අවධාරණය කළේය.
     
    ජනාධිපතිතුමා කළ කතාව මෙසේයි. "අපේ රටේ ප්‍රධාන සේවකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය පසුගියදා පැවතුණා. මගේ ආදරණීය ජනතාව අප වෙත ලබා දුන් අති විශිෂ්ට ජයග්‍රහණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වුණා. ජනවාරි 8දාට පෙර ස්ථිර වශයෙන් ආණ්ඩුවක් පිහිටුවන බව මම ප්‍රකාශ කළා. එයට පොදු ජනතාවගේ ආශිර්වාදය හිමි වුණා. කැබිනට්, රාජ්‍ය හා ‍නියෝජ්‍ය ඇමතිවරු පත් කළ මෙම අවස්ථාවේදී මූලික කාරණය වන්නේ ඉදිරි දින 100ක වැඩපිළිවෙළයි. දින 100ක් ඉක්මවීමෙන් පවත්වන මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවෙන් ස්ථිර අමාත්‍ය මණ්ඩලයක් පත් කර මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කටයුතු සිදු කෙරෙනවා.
     
    දින 100න් පසු මැතිවරණයක් එන බව අද පත්වූ ඇමතිවරු සිතෙහි තබාගෙන කටයුතු කළ යුතුයි. ප්‍රතිවාදී දේශපාලන පාක්ෂිකයන් එකතු කර ගැනීම ඉතා අවශ්‍යයි. අපට උදව් කර මැතිවරණයේ දී අපට ඡන්දය භාවිත නොකළ ජනතාව මිතුරු කර ගැනීම ඉතා වැදගත්.
     
    ඇතැම් ස්ථානවල පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් සිදු වුණා. ඒ පිළිබඳ කනගාටු වෙනවා. කිසිදු බේදයකින් තොරව මැතිවරණයට පෙර සහ පසුව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුණු සැමට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කරමින් අධිකරණයට ඉදිරිපත් කරනවා. අපට පැවරී ඇති වගකීම තේරුම් ගත යුතුයි. රටේ ජනතාවගේ විශ්වාසය පළුදු කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නේ නම් විරුද්ධ පාක්ෂිකයන් දිනා ගැනීමට හැකියාවක් නැහැ. අපි පිහිටුවන්නේ ජාතික ආණ්ඩුවක්. සර්ව පාක්ෂික ආණ්ඩුවක්.

    ඒ සඳහා රටේ පොදු ජනතාවගේ විශ්වාසය දිනා ගත යුතුයි. ඒ සඳහා ඇමතිවරු තම ආදර්ශය රටට දිය යුතුයි. පසුගිය කාලයේ ඇතැම් දේශපාලනඥයන් තම ප්‍රතිරූපය තමන් විසින් ම කෙලෙසා ගත්තා. පටු පරමාර්ථ තුළ කටයුතු කිරීමෙන් එවැනි දේ සිදු වුණ. එම දේශපාලනඥයන් දෙස ජනතාව පිළිකුලෙන් බලන්න පටන් ගත්තා. අමාත්‍ය මණ්ඩල පත් කිරීමේදී අගමති රනිල් වික්‍රමසිංහ මහතා අප පෙරමු‍ණේ සෙසු නායකයන්ගේත් එකඟත්වය මත අමාත්‍ය මණ්ඩලය 30කට නොවැඩි විය යුතු යන ස්ථාවරයේ සිටියා.
     
    සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයන් ලෙස අමාත්‍යාංශ විෂයක් භාර ගැනීමේදී තමාට ලැබී ඇති විෂය පථය ප්‍රමාණවත්‍ නොවේ යැයි සිතීමට ඉඩ තිබෙනවා. මගේ දීර්ඝ කාලීන අත්දැකීම අනුව මා එය හොඳින් තේරුම් ගෙන තිබෙනවා. අද පත්වන ඇමති මණ්ඩලය පත්වන්නේ දින 100ක වැඩපිළිවෙළක් සඳහායි. බෞද්ධයෙකු ලෙස තනතුරු අත්හැරීමට පුළුවන් විය යුතුයි. සෞඛ්‍ය ඇමති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුර අත්හැරියේ නැත්නම් මම තවමත් එතැනයි. ඒවා අත්හල නිසා මට ඊට වඩා වගකීමක් මහජනතාව ලබා දුන්නා.
     
    බලය රැකගැනීමේ චේතනාවෙන් සිටිය හොත් බලයෙන් පිරිහෙනවා. නොමැරෙන මිනිසුන් ලෙස වැඩ කළහොත් පොදු මෙන්ම පෞද්ගලික ප්‍රශ්න රැසක් ඇති වෙනවා. ජනතාව තැබූ විශ්වාසය ගෞරවාන්විතව ආරක්ෂා කර ගත යුතුයි. මහජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් ආදර්ශ චරිත බවට පත් විය යුතුයි. නව රජයට ජනතාව ලබා දුන් බලයට එරෙහි වන්නන්ට පක්ෂ නායකයන් දැඩි ස්ථාවරයක ඉන්නවා. වැරදි දූෂණ සහ අක්‍රමිකතා සිදු කළහොත් ඇමති, රාජ්‍ය ඇමති, නියෝජ්‍ය ඇමති බව නොසලකා කටයුතු කරනවා. ඒ බව අමතක කරන්න එපා. පොදු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කැප වෙනවා." යනුවෙන් ජනාධිපතිතුමා වැඩිදුරටත් අදහස් දැක්වීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya