නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මා ජනතාව වෙතට යාමට කවදත් ඉතා සතුටුයි - ජනපති

    දෙසැම්බර් 05, 2014

    ‘මා ජනතාව වෙතට යාමට කවදත් ඉතා සතුටුයි’ යයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කළේය. 


    එසේ පැවසුවේ නියමිත කාලය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට කළ තීරණය ගැන දැන් පසුතැවිලි වන්නේ දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ‘කිසි ම පසුතැවිල්ලක් නෑ. ජනතාව වෙතට යාමට මා කවදත් සතුටුයි. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ප‍්‍රතිපත්තියක්.

    අද (05) උදේ අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරුන් සහ මාධ්‍ය ප‍්‍රධානීන් ඇමතූ ජනාධිපතිතුමා කියා සිටියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයා වුවද තමාගේ නියම ප‍්‍රතිමල්ලවයා හිටපු ජනපති චන්‍ද්‍රිකා කුමාරතුංග බවයි. ‘මෙහි නියම තරගය තිබෙන්නේ මාත් චන්‍ද්‍රිකා - මංගල හවුලත් සමඟයි. රනිල් වික‍්‍රමසිංහ මහතා ද පැත්තකින් ඉන්නවා. මට පෙනෙන හැටියට නම් හොඳ ම තරගයක් දිය හැකි පුද්ගලයා රනිල් වික‍්‍රමසිංහයි. ඔහුට රට පුරා හොඳ පදනමක් තිබෙනවා. මෛත‍්‍රීපාලට ඔතන තැනක් නැහැ. මට පුළුවන් ඔහුට සුබ පතන්න පමණයි, එදා සරත් ෆොන්සේකා මහතාට සුභ පතපු ලෙසට’ එතුමා පැවසීය.

    චන්‍ද්‍රිකා මට විරුද්ධව මැතිවරණ ව්‍යාපාරයේ යෙදී ඉන්න තුන්වන වතාවයි මේ. 2005 දීත් 2010 දීත් ඇය එසේ කළා. ඇගේ කතාවෙන් පෙනෙන්නේ තද වෛරයක්, ජනාධිපතිවරයා පැවසීය.

    ජනාධිපතිවරණයෙන් ජයගත හොත් දිවුරුම් දෙන්නේ දෙවන වාරයේ හය වසර නිමවූ පසු දැයි ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපතිතුමා තමා 2015 නොවැම්බර් 19 වනදා දිවුරුම් දෙන බව පැවසීය. ‘මට අවුරුද්දක් අඩු වෙනවා. මුල් කාලයෙනුත් අවුරුද්දක් අඩු වුණ විදිහට.

    මැතිවරණයට පසු දේශපාලන පළිගැනීම් සිදුවේ යයි බියක් පවතින්නේ යයි මාධ්‍යවේදියෙකු පැවසූ විට පිළිතුරු දුන් ජනාධිපතිතුමා එවැනි බියක් ඇති වීමට කිසිදු හේතුවක් නැති බව අවධාරණය කළේය. අපි පළිගන්නා පුද්ගලයින් නෙවෙයි. කුමාරතුංග මහත්මිය ජනාධිපති කාලේ මෙහි සේවයට බඳවාගත් 400ක් දෙනා තවමත් සිටිනවා. අද ඔබට තේ ගෙනාවෙත් එතුමිය බඳවාගත් පුද්ගලයෙක්. ඇයගේ කාලයේ සිටි ජනාධිපති ලේකම්වරුන් දෙදෙනෙකු බාලපටබැඳි මහතා සහ කරුණාරත්න මහතා පසුව තානාපති පදවි දැරුවා. මං ආපහු ඔවුන්ව ගෙන්නුවෙත් නෑ, කරදරයක් කළෙත් නෑ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජ්‍යෙෂ්ඨයන්ට නොසලකන බවට නගා ඇති චෝදනාව ද ජනාධිපතිතුමා ප‍්‍රතික්ෂේප කළේය. අපේ පක්‍ෂයේ වඩාත් ජ්‍යෙෂ්ඨයෙන් වන්නේ අගමැතිතුමාත් ජ්‍යෙෂ්ඨ ඇමති රත්නසිරි වික‍්‍රමනායක මහතාත් මමත්. අනිත් ජ්‍යෙෂ්ඨයන් අතර නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි ඉන්නවා. මම ඔවුන්ට කිසිසේත් නොසලකා නැහැ. මට නම් ඒ කාලේ හිරිහැර රාශියක් තිබුණා. නමුත් මං පක්‍ෂයෙන් ඉවත් වුණේ නෑ. එහෙත් මම පක්‍ෂය තුළ නොයෙකුත් කුමන්ත‍්‍රණ සහ පක්‍ෂය හැරයාම් දුටුවා. ලේකම්වරු කීප දෙනෙක් පක්‍ෂය හැර ගියා. එක් කෙනෙක් මිය ගියා. එක්කෙනෙක් මහණ වුණා. තව කීප දෙනෙක් ආපහු ආවා. පක්‍ෂයේ නිර්මාතෘවරයාගේ දුව සහ පුතා පක්‍ෂය දාලා ගියා. චන්දිකා කැඩිලා අලුත් පක්‍ෂයකුත් හැදුවා. අනුරත් කැඩිලා ගියා. පුතාලා දුවලා කරපු වැරදි අපි කළේ නෑ. කරන්නෙත් නෑ. මොන කරදර තිබුණත් මම දිගටම පක්‍ෂයේ රැඳී සිටියා.

    රජයේ තවත් සමහරුන් විපක්‍ෂයට යාමට ඉඩ තිබේදැයි ඇසූ විට ජනාධිපතිතුමා පැවසුවේ තමාට ඇමතිවරුන් සහ මන්ත‍්‍රීවරුන් ගැන දැඩි විශ්වාසයක් තිබෙන බවය. මේ පක්‍ෂය ශක්තිමක් කළේ මමයි. මා බලයට පත්වන විට ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් සිටියේ 57 යි. දැන් 127 ක් ඉන්නවා.

    විපක්‍ෂයේ යටි අරමුණු ගැන සුපරීක්‍ෂාකාරී වන ලෙස ජනපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ඔවුන්ගෙන් එක් නායකයෙක් නොර්වේ මැදිහත්වීමෙන් එල්ටීටීඊය සමඟ ගිවිසුමක් ගැහුවා. තව එක්කෙනෙක් ඒ විදිහටම පශ්චාත් සුනාමි PTOMS ගිවිසුමට එළඹුණා. ඒවා රටටත් ජනතාවටත් ද්‍රෝහී වූ ගිවිසුම්. ඒකයි මං කියන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා කියලා. 

    අවසන් වශයෙන් ජනාධිපතිතුමා තමාට ජනතාව ගැන පූර්ණ විශ්වාසයක් ඇතැයි සඳහන් කළේය.

    මාධ්‍ය රැස්වීම ආරම්භයේදී ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි, රැස්වූ පිරිස, මීට කලින් මෙවැනි රැස්වීම්වලට නිතර සහභාගී වූ මෑතකදී අභාවප‍්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාදාස සූරියාරච්චි, මහින්ද අබේසුන්දර සහ සුජීව දිසානායක සිහිපත් කිරීමට මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීය. 

    NDH/priu

    02

     

    03 1

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya