මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ලෝකයේ ම අවධානය මහින්ද චින්තනය වෙත යොමු ව තිබෙනවා - ජනපති

    නොවැම්බර් 04, 2014

    ත‍්‍රස්තවාදය නිමා කර රට සංවර්ධනය කරා ගෙන යාමට කි‍්‍රයාත්මක කළ මහින්ද චින්තන ප‍්‍රතිපත්තිය අද ලෝකයේ ම අවධානය දිනා ගෙන තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.


    ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනයන් අද මහින්ද චින්තනය පිළිබඳ කතා කරන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පිටරට විශ්වවිද්‍යාල පවා මහින්ද චින්තනය අධ්‍යයනය කරමින් සිටින බවත් ප‍්‍රකාශ කළේය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළ කළේ සමූපකාර රක්ෂණ සමාගමේ නව ගොඩනැගිල්ල වන සමූපකාර රක්ෂණ මන්දිරය විවෘත කිරිමේ අවස්ථාවට ඊයේ (03) පෙරවරුවේ එක් වෙමිනි.

    තිදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් යුක්ත ව වර්ෂ 1999 දී ආරම්භ කර ඇති සමූපකාර රක්ෂණ සමාගම මේ වන විට ස්ථීර සේවකයන් 726කින්, අලෙවි නියෝජිතයන් 1,70‍0කින්, ශාඛා කාර්යාල 42කින්, සේවා මධ්‍යස්ථාන 126කින් සමන්විත දැවැන්ත රක්ෂණ සමාගමකි.

    ආරම්භයේදී පැවති රුපියල් මිලියන 11ක පිරිවැටුම මේ වන විට රුපියල් බිලියන 1.6 දක්වා ඉහළ ගොස් ඇති අතර රුපියල් මිලියන 975ක ප‍්‍රාග්ධනයකින් මෙම සමාගම සමන්විතය.

    කොළඹ 14, ග‍්‍රෑන්ඩ් පාස් හි අංක 74/5 ස්ථානයේ පිහිටි සිව් මහල් සමූපකාර රක්ෂණ මන්දියර විවෘත කළ ජනාධිපතිතුමා එහි සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය. සමූපකාර සේවාවට කළ මෙහෙවර අගයා ජනාධිපතිතුමා වෙත විශේෂ තිළිණයක්ද පිරිනැමිණි.

    අප දියුණු විය යුත්තේ දේශීය ආර්ථිකයක් තුළින් යැයි තමා විශ්වාස කරන බවත් විදේශ රාජ්‍ය, ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල කුමන උපදෙස් දුන්නත් ඒවා ඒ අයුරින් ම පිළිනොපැද එම උපදෙස් විශ්ලේෂණය කොට අපේ ම ආර්ථක ක‍්‍රමයක් සකසා ගත යුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    ව්‍යාපාරිකයින්ට ආයෝජන සිදු කිරීමට ඇති හොඳ ම රටක් බවට අද ශී‍්‍ර ලංකාව පත් ව තිබෙන බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා වසර දහයක නිසි ආර්ථික කළමනාකරණයේ ලාභාංශ මෙවර අය-වැයෙන් ජනතාවට බෙදාදීමට හැකි වූ බවත් ප‍්‍රකාශ කළේය.

    සමූපකාරය පිළිබඳ විශ්වාසයක් නොතබා එම වගකීම් පෞද්ගලික අංශයට පවරාදීමට ඇතැම් රජයන් කටයුතු කළ ද ජන හිතකාමී රජයක් වූ වත්මන් රජය සමූපකාරය පිළිබඳ විශ්වාස තබා එය නැවත ගොඩනැගීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා අද සමූපකාරය රටේ සෑම ක්ෂේත‍්‍රයක් තුළ ම විහිද ඇති බවත් දිනෙන් දින දියුණුව කරා පිය මනින සමූපකාරයට පෞද්ගලික අංශය සමඟ තරග කිරීමට ද අද ශක්තිය ඇති බවත් කියා සිටියේ ය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් සමූපකාර රක්ෂණ සමාගමේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරමින් පවත්වන ලද කථාව

    සමූපකාර රක්ෂණ සමාගමේ නව ගොඩනැගිල්ල විවෘත කරන අවස්ථාවේ ඔබට සුබ පතන්න ලැබීම පිළිබඳ ව මම ඉතාම සන්තෝෂ වෙනවා. සමූපකාරය කෙරෙහි දැඩි විශ්වාසයක් අපට තිබෙනවා. නැතිබැරි හැම වෙලාවේ ම ජනතාවගේ පිහිටට ආවේ සමූපකාරයයි. 71 කැරැල්ල අවස්ථාවේ ඇඳිරි නීතිය ආදී නොයෙක් හේතු නිසා කෑම ගෙනෙන්න ලොරිවලට එන්න හෝ යන්න බැරිවුණු වෙලාවක අපේ පළාත්වල මිනිසුන් හාමතේ ඉන්න කොට සමුපකාර ලොරිවලින් බඩු තොග පිටින් ගෙනැවිත් සමුපකාරය හරහා ජනතාවට බෙදා දුන් යුගයක් තිබුණා. අද හුඟක් අයට එහෙම යුගයක් තිබුණු බව අමතකයි.

    අද ඉන්නා තරුණ පිරිසට 71 සිදු වූ සිද්ධිය ඉතිහාසයේ යම් සිද්ධියක් පමණයි. එය කොයි ආකාරයට සිදුවුණා ද, සමූපකාරිකයින් කී දෙනෙක් තමන්ගේ ජීවිත පූජා කළා ද කියලවත් දන්නේ නැහැ. එවැනි යුගයන් පසු කරලා තමයි ත‍්‍රස්තවාදී කාලයන් අතරතුරත් මේ විදිහට ආවේ. අද හැම ක්ෂේත‍්‍රයකට ම සමූපකාරය විහිදී තිබෙනවා. සමූපකාරය බඩු බෙදන්න පමණක් නොවෙයි, ඊට වඩා එහාට ගිහින් රක්ෂණයටත් අද අත ගසා තිබෙනවා.

    සමූපකාරයට පෞද්ගලික අංශය සමඟ වගේම රාජ්‍ය අංශය සමඟත් තරග කරලා ජයගහණය කරන්න පුළුවන් වෙන්න  ඕනෑ. එයිනුයි තමන්ගේ හැකියාව පෙන්වන්න හැකිවන්නේ. අපට බැහැ කියලා දෙයක් නැහැ. බැහැ කියන වචනය අප අතහැර දමන්න  ඕනෑ. විශේෂයෙන් සමූපකාරිකයින් වශයෙන් බැහැ කියන වචනය භාවිත කරන්න බැහැ. එය ඔබ ඔප්පු කරලා තිබෙනවා. අපි ඔබ කෙරේ දැඩි විශ්වාසයක් තබලා තිබෙනවා. මේ රක්ෂණ ක‍්‍රමය රට පුරාම තරග කරන්න  ඕනෑ. සමූපකාරය සමඟ ජනතාවගේ විශ්වාසය තිබෙනවා. ඒ විශ්වාසය තහවුරු කරගෙන තව තවත් ඉදිරියට යන්න ඔබට හැකියාවක් තිබෙන්න  ඕනෑ. සමූපකාරයෙන් අපට පසුගිය දිනවල යෝජනාවලියක් භාර දුන්නා. භාණ්ඩාගාරය සමඟ ඉදිරිපත් කරපු යෝජනා ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න ඉතා ම සුබවාදීව බලන්න අපි මේ දිනවල කටයුතු කරගෙන යනවා.

     

    අපි සමූපකාරය ආදායම් බදුවලින් නිදහස් කරලා තිබෙනවා. සාමාන්‍යයෙන් බදුවලින් නිදහස් කරන සමාගම් තිබෙනවා. ආයෝජන මණ්ඩලය හරහා වසර 05 - 10 ක සීමාවකට තමයි එහෙම බදුවලින් නිදහස් කරන්නේ. අපි වෙනස් කළ යුතු පුරුද්දක් තිබෙනවා. අපි එහෙම කාලසීමාවකට දුන්නා ම ඔවුන් වසර 20 - 30ක් පමණ තියාගෙන යනවා. එහෙම අවස්ථා බොහෝ තිබෙනවා. ඔවුන්ට යම් කාලසීමාවකට නම් බදුවලින් නිදහස ලබාදෙන්නේ එම කාලසීමාව නිමා වූ දිනයේ සිට ඔවුන් රජයට බදු ගෙවිය යුතුයි. නමුත් සමූපකාරයට එහෙම කාල සීමාවක් නැතිව බදුවලින් නිදහස් කරලා තිබෙන්නේ. මෙයත් වසර 05 -10කට කාලයකට බදුවලින් නිදහස් කිරීමත් අතර ලොකු වෙනසක් තිබෙනවා. ඔබ මතක තබාගන්න  ඕනෑ එය රැකගන්න.

     

    අපි සමූපකාරය කෙරේ විශ්වාසයක් තියලා තිබෙනවා. සමහර දේශපාලන මතවාදවලට අනුව සමූපකාරය කෙරේ විශ්වාසයක් නැහැ. ඒවා පුද්ගලික අංශයෙන් ඉටුකළ යුතුයි. රජයෙන්, සමූපකාරයෙන් කළ යුතු නැහැ එය පෞද්ගලික ව්‍යවසායකයා විසින් පමණක් කළ යුතුයි කියලා කියනවා. අපිට පෞද්ගලික් අංශය කෙරේ විශ්වාසයක් තිබෙනවා. ඔවුන් සමඟ තරග කිරීම සඳහා සමූපකාරය, සංස්ථාව තිබිය යුතුයි, රජය මැදිහත් විය යුතුයි කියන විශ්වාසය අපට තිබෙනවා. ඒකයි අප දෙගොල්ලන් අතර තිබෙන දේශපාලන වෙනස.

    මේ වැඩපිළිවෙළ තමයි රටේ ආර්ථිකය අද ශක්තිමත් කරලා තිබෙන්නේ.  ඕනෑම ආයතනයක ආරම්භ කරලා වසර ගණනාවකට පසු ලාභ ලබන කොට ඒවා කොටස්කරුවන් අතරේ බෙදනවා. අපි වසර 10ක් රටක ආර්ථිකය කළමනාකරණය කරගෙන ඇවිත්, ත‍්‍රස්තවාදය අවසන් කරලා, රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරලා තිබෙනවා. අපි 18 වන සංශෝධනය ගෙන ආවේ ඒකට. බොහෝවිට රජයක් පළමු වසර 05 තුළ වැඩ කරලා, දෙවන අවුරුදු පහෙන් අවුරුදු තුනක් ගත වෙනකොට එහි අභ්‍යන්තර ගැටලු ඇතිවෙනවා. එහෙම වුණොත් රටක් ගොඩනගන්න බැහැ. ඔබ මට රට භාර දුන්නේ රට ගොඩනගන්න. අපි ත‍්‍රස්තවාදය අවසන් කළා. දැන් තිබෙන්නේ රට සංවර්ධනය කිරීම හා ගොඩනැගීම. ඒ සඳහා වූ අවශ්‍යතාව අපි දැක්කා. ඒ සඳහා රජයක ස්ථාවරත්වයක් තිබෙන්න  ඕනෑ.

    ඒ නිසා ඇමරිකා එක්සත් ජනපදයේ පළවෙන සඟරාවක පැහැදිලි ව කියලා තිබෙනවා රටේ තිබෙන දේශපාලන ස්ථාවරත්වය නිසා ව්‍යාපාරිකයින්ට ආයෝජනය කිරීමට ශී‍්‍ර ලංකාව හොඳ ම රටක් කියලා. ඒ විශ්වාසය ඇති කරන්න ඕනෑ. ඒ විශ්වාසය ඇති කළ පසු අපේ ගමන ඉදිරියට යන්න අපට පුළුවන්කම ලැබුණා. එදා තිබුණු තත්ත්වය නෙවෙයි අද. අද අපේ විදේශ සංචිතය රුපියල් මිලියන 10කට ගොඩනැගිලා තිබෙනවා. එදා රුපියල් මිලියන 02යි. මේ තිබෙන තත්ත්වය අවබෝධ කරගන්න  ඕනෑ. අපි මෙය ගොඩනගලා තිබෙනවා. අපි ඉදිරි ගමනක් යනවා. ඒ ඇවිත් වසර 10 කට පසු 10 වන අයවැය ගෙනෙන අවස්ථාවේ අපි ඒ ලාභාංශ බෙදා දුන්නා.

    රටේ හැම පුද්ගලයෙකුට ම එය ලැබෙනවා. විදුලි මිල, ගෑස් මිල, ඉන්ධන මිල ආදිය අඩු කිරීම තුළින් අපිට මේ ප‍්‍රතිලාභ ජනතාව අතරේ බෙදාදෙන්න පුළුවන්කම ලැබුණා. මෙය කරන්න බැහැ කියලා කියපු අයට එහෙම දේවල් කරනකොට එය මැජික් එකක්. අපට නම් මැජික් එකක් නෙවෙයි. අපේ විශ්වාසයක් තිබෙනවා අපට කරන්න පුළුවන් කියලා. එය අපි කරලා පෙන්නුවා. මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න අපට අවශ්‍යයි. මෙවර අයවැය කතාවේ අවසානය කියවා බලන්න. එතැනයි අපේ ඊළඟ දැක්ම තිබෙන්නේ. දැනුම, හැකියාව පිළිබඳව. දැනුම කේන්ද්‍ර කරගෙන පුද්ගලයින් ශක්තිමත් කරන්න. ඔබේ දරුවාගේ අනාගතය ගැන හිතලයි අපි ඉදිරියට පියවර තබන්නේ. ඔබට රට තුළ ඇවිදින අය. මේ සංවර්ධනය දකින අය. ඒ ගම්වලට ගිහින් බලපුවාම කාපට් පාරක් නැති ආසනයක් සොයාගෙන එන්න බැහැ.

    විදුලිය සියලු දෙනාට ම වගේ දීලා තිබෙනවා. දුරකතන ජනගහනයටත් වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. එදා දුරකතනයක් ගන්න පෝලිමේ සිටියා. ඒ දිනවල දුරකතනයක් ලබාගන්න ලිපි ගන්න පවා අපේ ගාවට මිනිසුන් ආවා. මේ වෙනස ඇතිවෙලා තිබෙනවා. රටක්, ලෝකයක් දියුණු වෙනකොට අපිත් දියුණු වෙන්න  ඕනෑ. නමුත් අපි දියුණු කරන්න  ඕනෑ අපේ ම දේශීය ආර්ථිකයක්. පිටරටකින් ගෙනෙන ආර්ථිකයක් නෙවෙයි ඒ අදහස් අරගෙන ඒවා විශ්ලේෂණය කරලා අපේම වූ ආර්ථික ක‍්‍රමයක් හදාගෙන ඉදිරියට යන්න  ඕනෑ. ඒකයි අපි අද කරලා තිබෙන්නේ. එය පිළිගන්න සූදානම් නැහැ.

    අද බොහෝ ජාත්‍යන්තර ආයතන මහින්ද චින්තනය ගැන කතා කරනවා. සමහර පිටරට විශ්වවිද්‍යාල අද මහින්ද චින්තනය ගැන අධ්‍යයනය කරනවා. චීන උප ජනාධිපතිවරයා විසින් යම් කිසි රටකට චින්තනයක් තිබෙනවානම් රටක් දියුණු වෙන එක අනිවාර්යයි කියා පැවසුවා. එවැනි දැක්මක් සමඟයි අපි ගමන් කරන්නේ. ඒ නිසා තමයි අපට මේ දියුණුව ලැබිලා තිබෙන්නේ.

    ඔබ මේ ආයතනය තවතවත් ගොඩනගලා, ශක්තිමත් කරලා මේ රටේ අනෙකුත් මේ හා සමාන පෞද්ගලික හා රාජ්‍ය ආයතන අභිබවා යන්න ඔබට ශක්තිය හා වාසනාව ලැබේවා.

     

    ඔබට සුබ අනාගතයක්

     NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya