මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා පලස්තීනයට ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ලබා දෙයි

    සැප්තැම්බර් 26, 2014

    නිව් යෝක්: ඇමෙරිකානු ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් ශ්‍රී ලංකාව විසින් නිල වශයෙන් පලස්තීනය වෙත ලබා දීම අද සවස පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් (Mahmoud Abbas) හමු වූ අවස්ථාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් සිදු විය.


    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වන සැසියට පරිබාහිරව මෙම හමුව සිදු විය.

     

    පලස්තීනය උදෙසා වූ ශ්‍රී ලංකා සහෝදරත්ව කමිටුවේ ආරම්භක සභාපතිවරයා වන රාජපක්ෂ ජනාධිපතිතුමා පලස්තීනය සඳහා දීර්ඝ කාලීන සහය දක්වන්නෙකු වන අතර මෙම පරිත්‍යාගය පිළිබඳ ව පසුගිය අගෝස්තු මාසයේ දී එතුමා නිවේදනය කළේය.

     

    මෙම හමුවේ දී ජනාධිපති අබ්බාස්, ඔහු සහ පලස්තීන ජනතාව ශ්‍රී ලංකාවේ සහයෝගය සහ විශේෂයෙන් ම පලස්තීනය වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අඛණ්ඩ කැපවීම අගය කරන බව පැවසුවේය. ජනාධිපති අබ්බාස් මැතිතුමා බටහිර ඉවුරේ සහ ගාසා තීරයෙහි වර්තමාන තත්වය පිළිබඳ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා දැනුවත් කළ අතර මෙම කලාපයේ ජනතාව මුහුණ පා සිටින අභියෝග පිළිබඳව ද සාකච්ඡා කළේය.

     

    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා එම පදවියට පත් වූ 2005 වසරේ සිට මේ දක්වා සය වතාවක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතා ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම පලස්තීනය වෙනුවන් ද අදහස් දැක්වීය. මෙම වසරේ ද ඔහු එය සිදු කළේය.

     

    “වැඩිවෙමින් පවතින මැදපෙරදිග ප්‍රචණ්ඩත්වය ඉතා ඛේදජනකයි,” පෙර දින මහා මණ්ඩලය ඇමතූ අවස්ථාවේ දී ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසුවේය. “ඊශ්‍රායලය සමඟ සාමයෙන් සහ එක් ව කටයුතු කරන, පිළිගත් ආරක්‍ෂිත සීමාවක, ස්වෛරී, ස්වාධීන, සාධනීය සහ එක්සත් පලස්තීන රාජ්‍යයක් කඩිනමින් පිළිගැනීමට ශ්‍රී ලංකාවේ සහය ලබා දෙන බව මා නැවතත් අවධාරණය කරනවා. පලස්තීනය හැකිතාක් ඉක්මණින් එක්සත් ජාතීන්ගේ පූර්ණ සාමාජිකයෙක් ලෙස පිළිගැනීමට අප බලා සිටිනවා.”

     

    මෙම වසරේ ජනවාරි මාසයේ දී රාජපක්ෂ ජනාධිපතිතුමා ජෝර්දානය සහ ඊශ්‍රායලය ඇතුළු එම කලාපයේ සිදු කළ සංචාරයේදී ප්‍රථම වතාවට පලස්තීනයේ ද සංචාරයක යෙදුණේය. එම සංචාරයේ දී පලස්තීනය වෙනුවෙන් ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ අඛණ්ඩ සහයෝගය හා කැපවීම වෙනුවෙන්, “පලස්තීන තාරකාව” යන පලස්තීන රාජ්‍යයේ ඉහළ ම සම්මානය එතුමාට ප්‍රදානය කරන ලදී.

     

    1988 දී පලස්තීනය රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලැබිණ.

     

    මෙම හමුව සඳහා විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය පාලිත කොහොන යන මහත්ම මහත්මීහු ද එක් ව සිටියහ.

     

    HC/IMU

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya