අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විවාදයට ගණපූරණය නොමැති නිසා පාර්ලිමේන්තුව කල්තබයි

    අප්‍රේල් 10, 2014

    සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදය සඳහා අවස්ථාව දුන් විට එය පවත්වාගෙන යෑමට අවශ්‍ය ගණපූරණය සභාව තුළ නොමැති වීම නිසා අද (10) පාර්ලිමේන්තු සභා රැස්වීම කල්තැබීමට නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා තීන්දු කළේය.


    විදුලිබල ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙම විවාදය විරුද්ධ පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබූ අතර එය විවාදයට ගැනීමට ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් පිරිසක් විරුද්ධ පක්ෂයට සභාගැබ තුළ රඳවා ගැනීමට නොහැකි විය.


    අද (10) සවස 2.00කට පමණ එම විවාදය ආරම්භ කරමින් එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා සභාව අමතන විට නැගී සිටී පත්කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා රීති ප්‍රශ්නයක් මතුකරමින් සභාව පවත්වාගෙන යෑමට අවශ්‍ය ගණපූරණය නොමැති බව මූලාසනයේ අවධානයට ලක් කළේය.


    සවස 2.10ට පමණ වූ මේ අවස්ථාවේදි නියෝජ්‍ය කතානායක වීරක්කොඩි මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාද කරන ලෙස  නියම කළ අතර විනාඩි පහක් සීනුව නාද කිරීමෙන් පසුව ද සභාගැබට පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු පමණි. සභාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ගණපූරණය සම්පූර්ණ වීමට මන්ත්‍රීවරු 20ක් සිටිය යුතු බව අවධාරණය කළ චන්දිම වීරක්කොඩි මහතා අද පස්වරු 2. 15ට සභාව ලබන 24 වැනි දා දහවල් 1.00 දක්වා සභාව කල් තබන ලදී.


    මෙම විවාදය පවත්වාගෙන යාම එය යෝජනා කළ විරුද්ධ පක්ෂයේ වගකීම වුවත් ඒ සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් සභාවේ තබා ගැනීමට එජාපයට නොහැකි විය. මෙයට පෙර වතාවකදී ද මෙම යෝජනාවම සභාව කල් තබන අවස්ථාවක විවාදයට ගැනීමට න්‍යාය පත්‍රයට ඇතුළත් ව තිබුණු අතර එදින ද යෝජනාව ඉදිරිපත් කිරීමට අඬගැසූ විට රවි කරුණානායක මහතා යෝජනාව ඉදිරිපත් කිරීම ප්‍රමාද කළ අතර, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වෙනත් විරෝධතාවක් දක්වමින් සභාව මැදට පිවිසීම නිසා එදිනද සභාව කල් තබනු ලැබීය.


    මන්ත්‍රීවරු කැඳවන සීනුව නාද කළ අවස්ථාව වනවිට ආණ්ඩු පක්ෂය පැත්තේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහත්වරුද විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද විවාදයට පිළිතුරු දීමට සූදානම් ව සිටියහ.


    අද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයට ඉදිරිපත් කර තිබුණේ “මේ රජය විසින් ආර්ථිකය විදේශ සබඳතා, ජීවන වියදම, ප්‍රාග්ධන ආයෝජන මෙන්ම මේ වන විට යටිතල පහසුකම් ආශ්‍රිත කටයුතුද අව කළමනාකරණයකට ලක් කරමින් තිබේ. රජය විසින් 2006දී නොරොච්චෝලේ විදුලි බලාගාරය ආරම්භ කරන ලද්දේ මේ බලාගාරය ක්‍රියාත්මක වීම ආරම්භ වන විට එමඟින් විදුලිබිල අඩු කරනු ඇති අතර, ඉන්පසු කිසිදු විදුලි කැපීමක් සිදු නොවනු ඇති බව ප්‍රකාශ කරමිනි. කෙසේ වුවද 2013 වසරේදී සියයට 50කට වැඩි අගයකින් විදුලිබිල වැඩි කර ඇති අතර, නුදුරේදි සිදුවන ඉහළ යාමක් හා විදුලි කැපීමක් පිළිබඳව ද ලකුණු පහළ වී ඇත. ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කළද විසිතුන්වතාවක් බිඳ වැටුණු නොරොච්චෝලේ විදුලි බලාගාරය මේ වන විට මුළුමනින්ම බිඳ වැටී ඇත. සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ කාර්ය ක්ෂේත්‍රය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය  නොදන්නා නමුදු ඒ සඳහාද ගිවිසුම් අත්සන් කර ඇත. හිටපු විදුලිබල ඇමැතිවරයාද ප්‍රකාශ කළේ එබඳු ගිවිසුම් ශ්‍රී ලාංකීය අභිලාෂයන්ට හානි කර බවයි.“ යන යෝජනාවයි.


    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya