අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිලධාරීන් 87,000කට වැඩි පිරිසකට දේපොළ ණය ලබා දී තිබෙනවා

    අප්‍රේල් 10, 2014

    පසුගිය වසරේ දෙසැම්බර් 31 වන විට දේපොළ ණය ක්‍රමය යටතේ 87,000කට වැඩි රජයේ නිලධාරීන් සංඛ්‍යාවකට දේපොළ ණය ලබා දුන් බවත් එතෙක් පැවති වසර 05ක උපරිම දේපොළ ණය මුදල වසර 07 දක්වා ඉහළ දමා ඇති බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා විසින් පසුගිය 08දා 23(2) යටතේ අසන ලද ප්‍රශ්නයකට පිළිතුරුදෙමිනි.

    දේපොළ ණය ලබා දීමේදී උපරිමය වසර 07ක වැටුප හෝ රුපියල් ලක්ෂ 30ක මුදල යන දෙකෙන් අඩු මුදල ලබා ගත හැකි වේ. මෙසේ ණය ලබා ගන්නා නිලධාරියා මිය ගිය හොත් හෝ පූර්ණ අක්‍රමණ්‍යතාවට පත්වුව හොත් හෝ වෛද්‍ය හේතු මත විශ්‍රාම ගැන්වුවහොත් අදාළ ණය වාරික නිලධාරියාගෙන් හෝ යැපෙන්නන්ගෙන් අය නොකරන අතර රජය මඟින් අදාළ මාසික වාරිකය හා පොලිය අදාළ බැංකුවට ගෙවන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    නිලධාරියා ලබා ගන්නා ණය මුදලේ ප්‍රමාණය අනුව ඔහු විසින් බැංකුවට ගෙවනු ලබන පොලියට අමතරව රජය විසින් ගෙවිය යුතු පොලී ප්‍රමාණය අදාළ බැංකුව වෙත ගෙවීමට නිලධාරියා සේවය කරන රජයේ ආයතනය විසින් ම ක්‍රියාකරනු ඇත. ඒ සඳහා සෑම අමාත්‍යාංශයකට ම දෙපාර්තමේන්තුවක් වෙතම රාජ්‍ය සේවකයන්ගේ දේපොළ ණය යටතේ වැය ශීර්ෂ 1506න් රජය විසින් ප්‍රතිපාදන සලසා ඇත. ණය වාරික සියල්ල ගෙවා අවසන් රජයේ නිලධාරීන්ට තම ඔප්පුව බැංකුවෙන් නිදහස් කර ගැනීමට බාධාවක් නොවන බවත් රාජ්‍ය නිලධාරියෙකුට ණය ලබා ගැනීමේදී ප්‍රමාදවීම් හෝ වෙනත් ගැටලු ඇත්නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අදාළ නිලධාරියා ඍජුවම හෝ තම ආයතන ප්‍රධානියා මඟින් අභියාචනා හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    රජයේ සේවයේ වසර 10ක් නියුතුව සිට විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ලැබීමට සුදුසු නිලධාරියෙකු එම වරප්‍රසාදය ලබා ගැනීමේදී විශ්‍රාම වැටුප මෙන් වසර 02ක වටිනාකම පාරිතෝෂිකයක් ලෙස ගෙවනු ඇත. මේ සඳහා කාල පමාවක් හෝ යම් අපහසුතාවක් සිදු වන බැවින් දිවයින පුරා ව්‍යාප්ත බැංකු ජාලය මඟින් අදාළ මුදල් ලබා ගැනීමට නිලධාරියාට අවස්ථාව සලසා ඇත. රාජ්‍ය බැංකු මඟින් මේ සඳහා අවස්ථාව ඇති අතර ඉදිරියේදී ප්‍රතිලාභීන්ගේ ඉල්ලීම් අනුව පුද්ගලික බැංකු ජාලය වෙත ද ව්‍යාප්ත කිරීමේ හැකියාවක් පවතිනු ඇත. බැංකුව මඟින් ලබා ගන්නා මුදල් වසර 18ක් තුළ පොලී රහිතව ගෙවිය යුතුය. විශ්‍රාම වැටුප්ලාභියා පාරිතෝෂික මුදල ගෙවීමට පෙර මිය ගිය හොත් අදාළ මුදල් රජය මඟින් දරන බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    නිදහස් සන්ධාන රජයක් තුළ රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයන් සුරක්ෂිත කිරීමට බැඳී සිටී. වර්තමාන රජය රාජ්‍ය සේවයට බඳවා ගැනීම්, පුරප්පාඩු පිරවීම් අඛණ්ඩව සිදු කරයි. සෑම අය වැය ලේඛනයක් මඟින්ම වැඩුප් වැඩිවීම් හා දීමනා ගෙවීම් සිදු කර ඇති බව ද ඔහු පැවසීය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya