අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඩොලර් බිලියන 10ක ආයෝජන සහිත ව්‍යාපෘතීන් 19ක් හඳුනාගෙන තිබෙනවා

    සැප්තැම්බර් 10, 2014

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ මේ වනවිට ඇ.ඩො.බිලියන 10ක ඇස්තමේන්තුගත ආයෝජන සහිත ව්‍යාපෘතීන් 19ක් මේ වනවිට හඳුනාගෙන ඇතැයි ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.


    ඉන් ව්‍යාපෘතී 13ක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ද ලැබී ඇති අතර ඉතුරු ව්‍යාපෘතීන් 6 සඳහා පාර්ලිමේන්තු අනුමැතිය සඳහා සලකා බැලෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසුවේ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ සකස් කරන ලද රෙගුලාසි සහ නියමයන් අනුමැතිය සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.


    මෙම රෙගුලාසි හා නියමයන් ඉදිරිපත් කිරීමට පෙර ඊයේ (09) ඝනපූරණය නොමැති නිසා කල් තබන ලද ආනයන හා අපනයන (පාලන) පනත ය‍ටතේ වූ රෙගුලාසිය අනුමැතිය සඳහා සභාවට ඉදිරිපත් කළ අතර එය ඡන්ද විමසීමකින් තොරව අනුමත කෙරිණි.


    ආයෝජන ප්‍රවර්ධන ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තවදුරටත් කරුණු දක්වමින්; වඩා ගුණාත්මක බවින් යුත් හා ‍‍රටෙහි ස්වභාවයේ සැලකිය යුතු වෙනසක් සිදු කළ හැකි වුත් (changing the landscape of the country), සමාජීය හා ආර්ථිකමය වශයෙන් වාසි සහගතවුත් ආයෝජන දිරිගැන්වීම් උදෙසා 2008 වසරේදී රජය විසින් මෙම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත හඳුන්වා දෙන ලදී.

     

    මෙම නියමය යටතේ ඇවික් ඉන්ටර්නැෂනල් හෝල්ඩින්ස් ලංකා සමාගම විසින් බද්ධ නිවාස සංකීර්ණයක් සහිත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් කොළඹ 03, ආර්. ඒ. ද මැල් මාවතේ ඉදිකර ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

     

    මෙම පනත, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය සඳහාද, හඳුනාගත් ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් බදු රහිත කාලසීමාවක් ලබා දීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කරුණු සඳහා විධි විධාන සැලැස්වීම සඳහා ද වූ පනතකි.   

     

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් යනු; ජාතික යහපත සඳහා මෙන්ම ආර්ථික හා සමාජමය ප්‍රතිලාභයන් රටට ලබා දිය හැකි ව්‍යාපෘතියක් වේ.  මෙහිදී  මුලික වශයෙන් සැලකිය යුතු කරුණු වන්නේ, මහජනතාවගේ යහපත සඳහා වන යෝජිත භාණ්ඩ හා සේවා සැපැයීමට සම්බන්ධ වන ක්‍රමෝපායික වැදගත් කම, සැලකිය යුතු ප්‍රමාණයකින් රට තුළට විදේශ විනිමය ගලා ඒම, සැලකිය යුතු ප්‍රමාණයකින් රැකියා අවස්ථා උත්පාදනය සහ ආදායම් උත්පාදනය කිරීමේ අවස්ථා ප්‍රවර්ධනය, හරහා රටේ ස්වභාවයේ සැලකිය යුතු අන්දමේ වෙනසක් සිදු කළ හැකි වීමයි.

     

    මෙම පනත යටතේ ව්‍යාපෘතීන් 19ක් (ඇස්තමේන්තුගත ආයෝජනය ඇ.ඩො.බිලියන 10) මේ දක්වා හඳුනාගෙන ඇතිඅතර එයින් ව්‍යාපෘතීන් 13ක් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ද ලැබී ඇත. ඉතිරි ව්‍යාපෘතීන් 6 පාර්ලිමේන්තු අනුමැතිය සඳහා සලකා බැලෙමින් පවතී.

     

    කලාපය තුල වාණිජ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම, වේගවත් සංවර්ධනයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, සංචාරක යටිතල පහසුකම් ප්‍රවර්ධනය කිරීම, කලාපීය රටවල් අතර ඇති දැඩි තරඟකාරීත්වයට මුහුණ දීම, සංචාරකයින් විශාල වශයෙන් ආකර්ෂණය කල හැකි  සහ උද්දීපනය කළ හැකි  අන්දමේ ව්‍යාපෘති  ඇති කිරීම, බහු විධි සේවා පදනම් කර ගත් නගර නිර්මාණය කිරීම,සංචාරකයින් රට තුළ වැයකරන මුදල් ප්‍රමාණය වැඩිකිරීම ජාතික අවශ්‍යතාවයන් ලෙස හඳුනාගෙන තිබේ.

     

    2002 දී ගෝලීය ඍජු විදෙස් ආයෝජන ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 600 ක් වූ අතර එයින් 27% සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබිණ. මෙම තත්ත්වය 2013 වර්ෂය වන විට ගෝලීය ඍජු විදෙස් ආයෝජන ලැබීම් ඇමරිකානු ඩොලර් බිලියන 1,460ක් දක්වා වර්ධනය වූ අතර එයින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය 52%ක්  දක්වා වැඩි විය.

     

    ව්‍යාපෘති ආරම්භයේදී ඒවා සඳහා යම් බදු විරාම කාලසීමාවන් ලබා දුන්න ද ඉන්පසු සියලු ව්‍යාපෘති රජයේ සාමාන්‍යය නීති රීතිවලට අනුකූලව බදු ගෙවීමට බැඳී ඇත. උදාහරණයක් ලෙස දැනට ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති සංඛ්‍යාව 1700කට අධික වන අතර මින් 1100 පමණ දැනටමත් බදු විරාම කාලයන් අවසාන කොට රජයට ආදායම් බදු ගෙවීම ආරම්භ කර ඇත.

     

    2014 වසරේ මුල් මාස 6  සඳහා ලැබූ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 853 ක් වූ අතර මෙය 2013 වසරේ මුල් මාස 6 සඳහා ලැබූ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් මිලියන 540 හා සැසඳීමේදී 58%ක වර්ධනයක් පෙන්නුම් කරයි.

     

    ශ්‍රී  ලංකාව විසින් දැනටමත් රටවල් 28ක් සමඟ ද්විපාර්ශ්වික ආයෝජන ආරක්ෂණ ගිවිසුම්වලට එළැඹී ඇත. මෙම රටවල් අතර ලෝකයේ ඍජු විදේශ ආයෝජන සඳහා විශේෂ නැඹුරුතාවක් දක්වන සියලුම රටවල් පාහේ අන්තර්ගතවී ඇත. මෙම සියලු ගිවිසුම් සඳහා සාමාජික රටවල්හි ව්‍යවස්ථාවන්ට අනුකූලව පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගෙන ඇත. මෙවැනි ද්විපාර්ශ්වික ආයෝජන ආරක්ෂණ ගිවිසුම් මඟින් විදෙස් ආයෝජකයන්හට තම සුරක්ෂිතභාවය තහවුරු වන නියෝග ඇතුළත්ව ඇත.

     

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල අනුමැතිය යටතේ රටපුරා විසිරී පවතින ව්‍යාපෘති මඟින් දැනටමත් 485,000ක පමණ ඍජු රැකියා අවස්ථා ලබාදී ඇත. ඕනෑ ම රටක ව්‍යාපෘති ආරම්භ කිරීම මෙන් ම ඒවායෙන් යම් ප්‍රමාණයක් විවිධ හේතූන් මත වැසී යාමද ස්වභාවික සංසිද්ධියකි. කෙසේ වුවද ශ්‍රී ලංකාවේ මෙලෙස වැසී ගිය හෝ වැසී යාමේ ප්‍රවණතාවක් දක්වන ව්‍යාපෘති හඳුනාගැනීම හා ඒවා නැවත නඟාසිටුවීම කෙරෙහි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය විශේෂ අවධානයක් යොමු කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස “ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘති 200” වැඩසටහන යටතේ වැසී ගිය කර්මාන්ත ගණන 61 පමණ හඳුනාගෙන ඇති අතර මින් 11 පමණ දැනටමත් නැවත වාණිජ කටයුතු ආරම්භ කර ඇත. මෙමඟින් රැකියාවන්හි සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට පියවර ගෙන ඇත.

     

    විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තය සලකා බැලූ විට යම් ප්‍රදේශවල ක්‍රියාත්මක වන ව්‍යාපෘති වැසී යාමත් සමඟ එම කර්මාන්තශාලා, ඇඟලුම් කර්මාන්තයේ නියැළී සිටින මහා පරිමාණ ආයෝජකයන් විසින් තම මව් සමාගම සමඟ ඒකාබද්ධ කර තරගකාරී මට්ටමින් පවත්වාගෙන යෑමට පියවර ගෙන ඇත. මෙමඟින් රැකියා අහිමි වීමක් සිදු නොවන අතර අමතර රැකියා උත්පාදනයක් බොහෝ විට දැකිය හැක.

     

    කොමියුනිස්ට් පාලනය යටතේ පැවති වියට්නාමය වැනි රටක් තම ආර්ථික ප්‍රතිපත්තීන් වෙළඳපොළ ආර්ථිකයක් කරා යොමු කිරීමත් සමඟ විශාල වශයෙන් ඍජු විදේශ ආයෝජන මෙන් ම අපනයන ක්ෂේත්‍රයේද කැපී පෙනෙන දියුණුවක් පසුගිය දශක දෙක ඇතුළත ලබා ගෙන ඇත. මේ සඳහා එම රට විසින් අනුගමනය කරන ලද මූලික ප්‍රතිපත්ති රාමුව තුළ ලෝකයේ ඉහළ වෙළඳපොළක් පවතින රටවල් මෙන් ම “ආසියාන්” වැනි බලවත් වාණිජ කලාප (Trading Blocks) සමඟ නිදහස් වෙළඳ ගිවිසුම්වලට එළැඹීම කැපී පෙනෙන සාධකයක් ලෙස හඳුනාගත හැක. ශ්‍රී ලංකාවද දැනටමත් චීනය සමඟ මෙවැනි ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුමක් කඩිනමින් ඇති කර ගැනීම සඳහා කටයුතු ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    විවාදය අවසානයේ රෙගුලාසි හා නියමයන් සම්මත විණි.

     

    HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya