අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගනපූරණය නොමැති ව පාර්ලිමේන්තුව කල් තබයි

    සැප්තැම්බර් 09, 2014

    ආනයන අපනයන (පාලන) පනත යටතේ සාදන ලද රෙගුලාසි අනුමැතිය සඳහා අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදය පැවැත්වෙද්දී සභාවේ ගනපූරණය පිළිබඳ ව ස්ථාවර නියෝග යටතේ මතු කළ ප්‍රශ්නයක් නිසා අද පස්වරුවේ අදාළ රෙගුලාසි අනුමත නොකර සභාව කල් තැබීමට ඒ වනවිට මුලසුනේ සිටි කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා තීරණය කළ අතර එයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කර සිටියහ.

     

    පත් කළ මන්ත්‍රී ඒ.එච්.එම්. අස්වර් මහතා විවාදයේ පිළිතුරු කතාව කරමින් සිටි අවස්ථාවේ සභාවේ ගනපූරණය පිළිබඳ ව විමසා සිටියේ එජාප මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතාය.  ඒ අවස්ථාව වන විට සභාවේ සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සහ එජාපයේ එක් අයකු පමණි.


    සභාවට මන්ත්‍රීවරුන් කැඳවන සීනුව නාද කළ අතර එම අවස්ථාවේ සභාව ඇමතූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ පක්ෂ නායක රැස්වීමේදී මෙම රෙගුලාසි අනුමත කර ගැනීම පිළිබඳව ගනපූරණය ගැන ප්‍රශ්නයක් ඇති නොකර ගැනීමට එකඟතාවකට පැමිණ තිබූ බැවින් ඡන්ද විමසීමකින් තොරව මෙම රෙගුලාසි අනුමත කර ගැනීමට තීන්දු කරගත් බවය.


    එහිදී එජාප මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ තමන් මෙහිදී මතු කළේ සභාවේ ගනපූරණය ගැන පමණක් බවත් ඡන්ද විමසීම ගැන තමා කිසිවක් ප්‍රකාශ නොකරන බවත්ය.


    මුලසුනේ සිටි කාරක සභා නියෝජ්‍ය සභාපති චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා අදහස් දක්වමින් පැවසුවේ පක්ෂනායක රැස්වීමේදී කුමන එකඟතාවන් ඇති කරගෙන තිබුණ ද යම් මන්ත්‍රීවරයෙක් සභාවේ ගනපූරණය පිළිබඳ ව විමසීමක් කළ හොත් එය සලකා බැලිය යුතු බවය.


    එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මුලසුනට අදහස් දක්වමින් සභා රැස්වීම කල්තැබීමට පෙර සභාව අත්හිටුවා පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීන්දුවක් ගන්නා ලෙස ඉල්ලා සිටිය ද එය නොසලකා අද පස්වරු 5.40ට පමණ සභාව කල් තබමින් චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා මුලාසනයෙන් ඉවත් ගියේය.


    සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිත තිබූ අතර එම යෝජනාව ඉදිරිපත් නොකර සභා රැස්වීම කල්තැබිය නොහැකි බව පවසමින් සභාව කල්තැබීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු කරුණු දැක්වූහ. සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මහතා පැවසුවේ සභාව කල්තැබීම ස්ථාවර නියෝගවලට පටහැනි බවයි.


    කෙසේවෙතත් මුලාසනය විසින් සභාව හෙට (10) පස්වරු 1.00 දක්වා කල්තබන ලදි.


    අද වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහා පිළිතුරු දෙන පාර්ලිමේන්තුවේ ආරම්භක අවස්ථාවේත් ප්‍රශ්න රැසක් ඇසීමට නොහැකි වූයේ එම ප්‍රශ්න ඉදිරිපත් කළ එජාප මන්ත්‍රීවරුන් අද සභා ගැබේ නොසිටි බැවිනි.

     

    HC/NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya