මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහිකරලීම උදෙසා අමරපුර මහා නිකායේ දායකත්වය සුවිශාලයි- අග්‍රමාත්‍ය

    අගෝස්තු 17, 2020

    ශ්‍රී ලංකා අමරපුර මහා නිකායික සංඝ සභා කාර්යාලය විවෘත කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පසුගිය දා සිදු කෙරිණි.

    අමරපුර මහ නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය ආචාර්ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීමත් සිරිල් ද සොයිසා අනුස්මරණ මන්දිරයේ දී අමරපුර නිකායේ සංඝ සභා කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමේ උළෙල පැවැත්විණි.

    එම අවස්ථාව සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆෙස්බුක් අඩවියේ නිවේදනයක් නිකුත් කර තිබුණි.

    නිවේදනය මෙසේ ය-

    උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහිකරලීම උදෙසා අමරපුර මහා නිකායේ දායකත්වය සුවිශාලයි!

    "අමරපුර නිකාය මීට වසර 217කට පමණ පෙර අරම්භ කළා. නමුත් මෙම නිකායේ සංඝ සභාව සඳහා ස්ථීර ගොඩනැඟිල්ලක් තිබුණේ නැහැ. මෙම ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා භූමිය පරිත්‍යාග කිරීමට මට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් මම අතිශය සතුටට පත් වෙනවා.

    අමරපුර නිකායේ දායක සභාවේ උප සභාපති අජිත් ද සොයිසා මහතා අඩුවක්ව පැවතුණු ගොඩනැඟිල්ල සාදා නිම කිරීමත් මා මේ අවස්ථාවේ ඉතා අගය කරනවා. ඒ වගේම මෙම රමණීය මන්දිරය විවෘත කරන අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට අවස්ථාව ලැබීම ගැනත් මම සතුටට පත් වෙනවා.
    මහනුවර යුගයේ පැවිදි උපසම්පදාව සමාජයේ එක් කොටසකට පමණක් සීමා වුණා. මේ නිසා සියලු ශ්‍රී ලාංකික කුලපුත්‍රයන්ට පැවිදි උපසම්පදාව ලබාගත හැකි ලෙස අමරපුර නිකාය බිහි වුණ බව ශාසනික ඉතිහාසයේ සඳහන් වෙනවා.

    උගත් බුද්ධිමත් සඟ පරපුරක් බිහි කිරීමට අමරපුර නිකාය දායක වුණා. ඒ අනුව වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ, පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ, මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ, පිංවත්තේ දේවානන්ද හාමුදුරුවෝ, බම්බලපිටියේ නාරද හාමුදුරුවෝ, වජිරාරාම විහාර වාසී පියදස්සී හාමුදුරුවෝ, හීනටියන ධම්මාලෝක හාමුදුරුවෝ, දවුල්දෙන ඥානිස්සර හාමුදුරුවෝ වගේ කීර්තිමත් යතිවරයන් වහන්සේලා බොහෝ පිරිසක් අමරපුර නිකායෙන් බිහි වුණා.

    අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හාමුදුරුවෝ තමයි 2017 වර්ෂයේ ඉඳලා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක හිමිපාණන්වහන්සේ. දහස් ගණනින් ධර්ම දේශනා පවත්වමින් විශාල ශාසනික ආගමික සේවාවක් ඉටුකරමින් සිටින උන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

    වර්තමානයේ ඇතැම් භික්ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු අසුනක් ලබා ගැනීම සඳහා අරගල කරද්දී මෙවැනි ශාසනික සේවාවන් සිදුවනු දැකීම පවා සතුටට කරුණක්. අභිනවයෙන් විවෘත කරනු ලැබූ අමරපුර මහා නිකායේ සංඝ සභා කාර්යාලය මෙරට සුවිශාල ශාසනික සේවාවක් සිදු කරන කේන්ද්‍රස්ථානයක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා."

     

    අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ
    අමරපුර නිකායේ සංඝ සභා කාර්යාල පරිශ්‍රය විවෘත කිරීමේ උළෙල
    2020.08.15

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya