අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන දශකයේ තේමාව වන්නේ ශ්‍රීලංකාව ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක් හැටියට ගොඩ නැගීමයි-අග්‍රාමාත්‍ය

    දෙසැම්බර් 21, 2019

    දැන් විසි එක්වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයට පාතබන්නට සූදානම් වන අතරම එළඹෙන දශකයේ තේමාව වන්නේ ශ්‍රීලංකාව ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක් හැටියට ගොඩ නැගීමයි. මේ සියල්ලටම අඩිතාලම සපයන්නෙ රට රකින ත්‍රිවිධ හමුදාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ,ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 94 වැනි විසිරයාමේ පෙළපාලියට එක් වෙමිනි. මෙම විසිර යාමේ පෙළපාලිට පාඨමාලා අක 87, 87ඹ්, නිත්‍ය කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨමාලා අංක 17, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨමාලා අංක 59, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨමාලා 16 යටතේ කෙඩෙට් නිලධාරින් හා නිලධාරිනියන් 321 දෙනෙකු අධිකාරියට පත්වූහ. ඊට මාලදිවයින් කෙඩෙට් නිලධාරීන් 02ක් සහ සැම්බියා කෙඩෙට් නිලධාරීන් 02ක් ද ඇතුළත් විය.

    මෙම අවස්ථාවට ආරක්ෂක ලේකම් මේජරු ජෙනරාල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න, ශ්‍රීලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යා පීඨයේ සේනා විධායක බ්‍රිගේඩියර් එස්.කේ.ඊශ්වරන් ඇතුළු යුදහමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විසිරයාමේ පෙළපාලියට සහභාගීවූ කෙඩෙට් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරීන්ට සහ නිලධාරිනියන්ටත්, පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත් නිලධාරී නිලධාරිනියන්ටත් අග්‍රාමාත්‍යතුමා අතින් ජනාධිපති කුසලතා සම්මාන සහ ගෞරව අසිපත් ප්‍රධානය කිරීම සිදු කෙරුණි.

    එහිදී ස්වේච්ඡා කෙඩෙට් නිලධාරිනී පාඨමාලා අක 16 හි සෑම අතින්ම අතිශූර කෙඩට් නිලධාරිනිය සහ පාඨමාලාවේ ප්‍රථම ස්ථානය දිනාගත් කෙඩෙට් නිලධාරිනිය ලෙස කණ්ඩ මෙහෙයුම් නිලධාරිනී ජේපීටී රත්නමලලත්, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 59 හි ප්‍රථම ස්ථානය දිනාගත් කෙඩෙට් නිලධාරියා ලෙස ආර්.ඩී.ටීආර්.එල් පුලේපෙරුම සහ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියා වශයෙන් කේජීජීබීබී කාංගරත් සම්මාන ලැබීය.

    එසේම නිත්‍ය කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ ප්‍රථම ස්ථානය සහ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරිනිය වශයෙන් කේපීඩීඅයි මධුෂානිත්, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 87ඹ් හි සෑම අතින්ම දක්ෂතම සහ ප්‍රථම ස්ථානය දිනාගත් කෙඩෙට් නිලධාරියා වශයෙන් ඒඑම් චන්ද්‍රතිලකත්, නිත්‍ය කැඩෙට් නිලධාරී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම සහ ප්‍රථම ස්ථානය දිනාගත් කෙඩෙට් නිලධාරියා වශයෙන් කේජීපීඑච් කෝදාගොඩත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ජනාධිපති කුසලතා සම්මාන සහ ගෞරව අසිපත් ලබා ගත්හ.

    ඉන් අනතුරුවඋස්තම සභාව ඇමතූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.

    අද යුද හමුදා නිලධාරීන් හැටියට පත්වෙන මේ කැඩෙට් නිලධාරීන් බොහොම වාසනාවන්ත තරුණ පිරිසක්. ඔබට මේ ආයතනයෙන් ලැබිලා තියෙන්නෙ ජීවිතේ ඕනම දේකට යොදවන්න පුලුවන් ශික්ෂණයක් හා ඉතාමත්ම වටිනා පුහුණුවක්. මේ විනය පදනම් කරගත් ප්‍රවේශයෙන් පුලුවන් හමුදා නිලධාරියෙක්ගෙ වෘත්තීය විතරක් නොවෙයි, වෙනත් ඕනෑම වෘත්තියක් වුණත් ප්‍රගුණ කරගන්න.

    අද ඉඳලා හමුදා සේවයට එකතු වෙන මේ තරුණ නිලධාරීන්, විවිධ කාර්යභාර ඉටු කරන රෙජිමේන්තු වලට එක්වෙයි. මේ හැම එකකටම විශේෂඥ දැණමුක් ඕන. ඒ දැණුම ප්‍රගුණ කරන තරමට තමයි ඔබේ රාජකාරිය සාර්ථක වෙන්නෙ.

    ඔබ අද සිට ඇතුළත් වෙන වෘත්තීමය මෙහෙවරත් සුළුපටු වැදගත්කමකින් යුක්ත එකක් නොවෙයි. මේ රට අද මෙහෙම තියෙන්නෙ ත්‍රිවිධ හමුදාව නිසා. නිදහස ලැබුවට පස්සෙ, සුළුපටු අභියෝග වලට නෙමෙයි අපි මුහුණ දීල තියෙන්නෙ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට පිටින් දේශපාලන බලය අල්ලා ගැනීමට සංවිධානාත්මක පිරිස් ඇති කළ ආයුධ සන්නද්ධ කැරළි තිබුණ 1971 සහ 1980 ගණන් වල. දශක හතරක් විතර මුලුල්ලේ රට බෙදීමට දියත් කරපු ත්‍රස්තවාදී ව්‍යාපාරයක් තිබුණු උතුරු නැගෙනහිර පළාත්වල.

    ඒ සියල්ල පරාජය කරලා මේ රට අද පවතින තත්වයෙන් රැකගත්තෙ ත්‍රිවිධ හමුදාවයි. ඔබ මේ බැදෙන්නෙ ලෝකේ දරුණුම් ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම් කරලා තිබුණු කොටි සංවිධානය පරාජය කරපු අභිමාන්‍වත් හමුදාවකටයි. ඔබට ඉදිරියේදී වෙනත් රටවල යුද හමුදා සාමාජිකයන් හමුවුණාම පෙනෙයි, ඒගොල්ලො ලංකාවේ හමුදාව ගැන කොයිතරම් ගරුත්වයක් තියෙනවද කියන එක. සමහර බටහිර රටවල් ලංකාවේ යුද්ධය ඉවර කෙරුවට විරුද්ධයි.

    නමුත් දේශපාලන බලධාරීන් මොන මතයක් දැරුවත්, ඒ රටවල් වල හමුදා නිලධාරීන් තමන්ගේ වෘත්තීය පැත්තෙන් දරණ මතය වෙනස්. ඒ නිසා අපිට කිසිම පැකිලීමක් නැතුව කියන්න පුලුවන්, ලෝකයේ යුද හමුදාවන් අතර විශාල කීර්ති නාමයක් දිනාගෙන තියෙන යුද හමුදාවක් තමයි ලංකාවේ තියෙන්නෙ. ඒ සාර්ථකත්වය හා කීර්තිය නිසාම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට විරුද්ධ පිරිසකුත් ඉන්නවා. ත්‍රිවිධ හමුදාවේ රට රකින කාර්යභාරය නිසාම රටට එරෙහි අය ඔබටත් එරෙහි වෙනවා.

    නමුත් මේ රටේ ජනතාව ඉන්නෙ රට වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු කරන, රට රකින රණවිරුවොත් එක්ක. පහුගිය කාලේ, “ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන්” කියපු පිරිසක් ආණ්ඩු කරපු විදිය ඔබ දැක්කා. පැවතිච්ච ආණ්ඩුව යුද්ධය දිනපු හමුදාව ගැන දැක්වූයේ වෛරයක්. හමුදාවේ ඉන්නෙ රණවිරුවෝ නොවෙයි, හොරුයි, මිනී මරුවොයි කියලා ජනතාවට ඒන්තු ගන්වන්න හැදුවා. භික්ෂුත්වයට පුදුම විධියට නිග්‍රහ කරා. පසුගිය අවුරුදු පහ ඇතුළත මේ රටේ හිටපු පාලකයෝ ඇතිකරන්න හැදුවේ දෙමවුපියන් තම දරුවන් සසුන්ගත කරන්න හෝ හමුදාවට බැදෙන්න දෙන්නෙ නැති තත්වයක් ඇති කරන්න.

    ත්‍රිවිධ හමුදාවේ පොලීසියේ ඉහලම නිලධාරියාගේ ඉඳලා පහලම සෙබලා දක්වා එක එක තරාතිරම් වල නිලධාරීන් පොලීසිය ඉදිරියට ගෙනල්ලා ප්‍රශ්න කරල බොරු චෝදනා ගොතලා හිරේ දැම්මා. ඒවා දැක දැකත්, දෙමව්පියෝ තමන්ගේ දරුවන් හමුදාවට එව්වේ රටට තියෙන ඇල්ම නිසා. හමුදාව කරපු කාර්යභාර්ය ගැන අවබෝධයක් තියෙන නිසා. ඒ වගේම යුක්තිය කවදා හරි ජය ගන්නවයි කියන විශ්වාසය නිසා. ඒ දැකපු දේවල් වලින් දුර්මුඛ වෙන්නෙ නැතුව තම ළමයි හමුදා සේවයට බැඳවීම ගැන මම මෙතන සිටින සියලුම දෙමව්පියන්ටත් ස්තුතිවන්ත වෙනවා.

    මම මේ අවස්ථාවේදී මේ නව හමුදා නිලධාරීන්ටයි, මෙතනට රැස්වෙලා සිටින දෙමව්පියන්ටයි දෙන ප්‍රතිඥාව තමයි පසුගිය අවුරුදු පහ ඇතුළත ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන් ඉලක්ක කරගෙන සිදුකරපු ඒ දඩයමත්, අවමානයටත් සාධාරණයක් ඉටු කරනවයි කියන එක.

    රණවිරු ගායට තිත තියන්න කියලා ඡන්දෙ ඉල්ලපු අයරට ජනතාව දීපු පිළිතුර ඔබ ගිය මාසේ දැක්කා. අද අතිවිශිෂ්ඨ ජනවරමකින් රටේ ජනාධිපති හා ඔබේ සේනාධිනායකයා බවට පත්වෙලා ඉන්නෙත්, ඔබ වගේම මේ දියතලාව කඳවුරෙන් පුහුණුව ලබලා මේ විදියටම පෙරට්ටුවට ඉදිරිපත් වෙලා යුද හමුදාවේ දෙවන ලුතිනන් තනතුරෙන් තමන්ගෙ වෘත්තීමය ජීවිතය පටන්ගත්ත සටන් අත්දැකීම් සහිත රණවිරුවෙක්.

    ඒ බල පෙරළියත් එක්කම, නව ජනතා යුගයක ආරම්භයක් පිළිබඳ බලාපොරොත්තුව රට පුරාම ඇතිවෙලා තියෙන ආකාරය ඔබට පේනවා. රටේ හැම තැනම තරුණ පිරිස් පොදු ස්ථානවල බිත්ති පිරිසිදු කරලා ඒවායේ චිත්‍ර අඳිනවා. ලස්සන ලංකාවක්, සෞභාග්‍යමත් දේශයක් ගැන බලාපොරොත්තුවක් මුලු රට පුරාම පැතිරිලා තියෙනවා. මට මතකයි, 2006 දී අපි ත්‍රස්තවාදය පරාජය කරන්න යුද්ධය ආරම්භ කරන කොටත්, මේ වගේම උද්යෝගයක් මුලු රට පුරාම ඇතිවුණා. තරුණ පිරිස් විශාල වශයෙන් හමුදාවට බැඳුනා. වෘත්තිකයන්, වෘත්තීය සමිති, සාමාන්‍ය ජනතාව, සියලු දෙනාම ත්‍රස්තවාදය පරද්දන්න ඒකට එකතුවුණා. ඒ ගැම්මෙන් තමයි පරාජය කරන්න බෑ කියපු කොටි සංවිධානය පැරද්දුවේ.

    විසි එක්වෙනි ශතවර්ෂයේ පළමු දශකයේ මේ රටේ තරුණ පරම්පරාව ලබපු ලොකුම ජයග්‍රණය තමයි පරද්දන්න බෑ කියපු කොටි සංවිධානය පරද්දන එක. ඒ යුද්ධයේ ඉදිරි පෙළ සිටගෙන සටන් කළේ තරුණ නිලධාරීන්, තරුණ සෙබලුන්. දැන් විසි එක්වෙනි ශතවර්ෂයේ තුන්වෙනි දශකයටයි අපි පා තියන්න යන්නෙ. එළඹෙන දශකයේ තේමාව වෙන්නෙ ලංකාව සෛවරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක් හැටියට ගොඩ නැගීමයි. මේ සියල්ලටම අඩිතාලම සපයන්නෙ රට රකින ත්‍රිවිධ හමුදාවයි - ඒ කියන්නෙ ඔබයි.

    අවුරුදු පහක අවපාලනයෙන් පස්සෙ ත්‍රස්තවාදය නැති කරලා තිබුණු මේ රටේ දැන් නැවතත් ත්‍රතවාදයක් ඇතිවෙලා තියෙනවා. ඒ ත්‍රස්තවාදය ඇතිවුණෙත්, පහුගිය ආණ්ඩුව ත්‍රිවිධ හමුදාව දඩයම් කරලා අකර්මණ්‍ය කරපු නිසා. පාස්කු ඉරිදා ප්‍රහාරය තරම් ලොකු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිවිල් ජනතාවක් ඉලක්ක කරලා ආසියාවේ වෙන කොහෙවත් සිද්ධවෙලා නෑ. නමුත් ඒක ලේසියෙන්ම වලක්වාගන්න තිබුණා. මේ ප්‍රහාරය සිද්ධ වෙනවයි කියලා කලින් සේරම තොරතුරු පිටරටින් ලැබිලා තියෙද්දි තමයි පාලකයෝ ඒ තොරතුරු ගණන් ගන්නෙ නැතුව හිටියේ. ඒ ත්‍රස්තවාදය නිසා රට බරපතල විදියට ආර්ථික පසුබෑමටත් ලක්වෙලා තියෙනවා. ඔබ කවුරුත් දන්නවා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ ලොකු කුඩා සංචාරක හෝටල් සිය ගණනක් කරගන්න බැරුව විකුණන්න දාලා. නමුත් අපි මෙතෙක් ආපු සියලුම අභියෝග ජයගත්තා වගේ මේ අභියෝගයත් ජයගන්නව.

    ජනාධිපතිවරණයෙන් පස්සෙ ආපු ගැම්මෙන් අපි සපුරාගන්න ඕනේ පළමු ඉලක්කය තමයි රටේ ජාතික ආරක්‍ෂාව නැවතත් ස්ථාපිත කරලා ආයෝජකයන්ට මෙන්ම සංචාරකයන්ටත් මේ රට සුරක්‍ෂිතයි කියන විශ්වාසය දෙන එක. ජනතාව අපිට බලය දුන්නෙ, මේ රට මුහුණ දීලා තිබ්බ දෙස් විදෙස් තර්ජන වලින් රට මුදවා ගන්නයි. ඒ සම්බන්ධයෙන් දේශපාලන බලධාරීන් හැටියට ඒ අවශ්‍ය නායකත්වය අපි ලබලා දෙනවා.

    ලොකයේ යුද හමුදාවන් අතර අද්විතීය ස්ථානයක් දිනාගෙන සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ තරුණ නිලධාරීන් හැටියට ඔබ ඔබේ යුතුකම ඉටුකරන බවට මට කිසිම සැකයක් නෑ. ශ්‍රී ලංකාවේ ඒකීය බවත්, ස්වාධිපත්‍යත්, ‍භෞමික අකණ්ඩතාවයත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයත් තහවුරු කරලා, අනාගත පරපුරට උරුම වීමට රටක් තියෙන බවට වගබලාගන්නේ ඒ පරපුරේම කොටසක් වෙන මේ තරුණ හමුදා නිලධාරීනුයි. අද සිට රාජකාරී ආරම්භ කරන ඔබේ වෘත්තීය ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි මම ප්‍රාර්ථනය කරනවා. යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya