ජූලි 17, 2019
tami eng youtube  twitter facebook
    logo

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර කුමාර දිසානායක සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා ජූලි මස 10 වන දින පාර්ලිමේන්තුවේදී කළ කතාව

    ජූලි 10, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අනුර කුමාර දිසානායක සහ බන්දුල ගුණවර්ධන යන මහත්වරු නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 ජූලි මස 10 වන දින පාර්ලිමේන්තුවේදී කළ කතාව

    අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමත්, බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමත් මේ ප්‍රශ්න පිළිබද දැනුම් දී තිබෙනවා. නමුත් අද දිනයේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට පැමිණ සිටින්නේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා පමණයි. මම ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරන්නම්. බන්දුල ගුණවර්ධන මැතිතුමා වෙන සෝෆාවක වාඩි වී සිටිනවාද කියා මා දන්නේ නැහැ. නමුත් අපි අත්සන් කර තිබෙන සෝෆා ගිවිසුම් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට හැකියි. පළමුවෙන්ම මෙම සෝෆා ගිවිසුම මම පාර්ලිමේන්තුවට සභාගත කරනවා. 1995 දී ශි්‍ර
    ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයත්, විදේශ කටයුතු අමාත්‍යාංශයත් අත්සන් කර හුවමාරු කරගත් ලියකියවිලි ද, මේ අවස්ථාවේ මම සභාගත කරනවා. මා ළඟ තිබෙන්නේ එම පරණ ගිවිසුමයි. වෙනත් ගිවිසුමක් මා ළඟ නැහැ. එය සභාගත කරන්නැයි ඉල්ලූ විට මා දැන් එය සභාගත කළා. ඒ කාලයේ සිට මෙය කරගෙන ගියා. කවුරුන් හෝ ඊට විරුද්ධත්වයක් ප්‍රකාශ කර තිබුණේ නැහැ. මෙය ඉදිරිපත් කර තිබෙන්නේ ඒ සෝෆා ගිවිසුමයි. වෙනත් සෝෆා ගිවිසුම් නැහැ. ඊට අමතරව තිබෙන්නේ ආලින්දයේ තිබෙන සෝෆාව පමණයි. සෝෆා යනු Status of forces agreement යන්නයි. මෙය 1995 මැයි 16 වන දා චන්ඬිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ මෙම ලිපි හුවමාරු කරගෙන තිබෙනවා.

    මේ අනුව දැනටමත් තානාපති වරප්‍රසාද ඇමෙරිකානු හමුදාවටත් තිබෙනවා. ඒවගේම ඇමෙරිකානු ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් සේවකයන්ටත් එම වරප්‍රසාදය ලබාදී තිබෙනවා. ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය යටතේ ඇමෙරිකාව සමග තවත් ආරක්ෂක ගිවිසුමක් ඇතිකර ගත්තා. Acquisition and cross Servicing Agreement ඇක්සා 2007 ගිවිසුම ඒ අනුව අත්සන් කළා. එම ගිවිසුමේ වලංගු භාවය 2017 මාර්තු මස 05 වන දිනෙන් අවසන් වුණා. ඉන් පසුව එය 2017 අගෝස්තු මස 04 වන දින නැවත අළුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. එම ගිවිසුමත් දැන් මම සභාගත කරනවා.


    මේ වන විට සෝෆා ගිවිසුම සම්බන්ධ ගෝනිබිල්ලෙක් මැවීමට විපක්ෂය උත්සාහ කරනවා. මෙහි අලූතින් ඇතිකරගත් ගිවිසුමක් නැහැ. තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ඇමෙරිකාව සමග ඇතිකරගෙන තිබෙන සෝෆා ගිවිසුම පමණයි. ඊට වගකිවයුතු රේඛීය අමාත්‍යාංශය වන්නේ ආරක්ෂක අමාත්‍යාංශයයි. එම නිසා මේ පිළිබඳව යම් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබේද යන්න පිළිබඳව මම අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් විමසුවා. එවැනි යෝජනාවක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් හෝ වෙනත් කිසිදු අමාත්‍යාංශයකින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් වී නොමැති බව එතුමා මා වෙත ලිඛිතව වාර්තා කර තිබුණා. එම ලිපියත් මම සභාගත කරනවා.

    එම නිසා අපි නව ගිවිසුමක් අත්සන් කර නැහැ. ඒ වගේම නව ගිවිසුමක් ඉදිරිපත් කර නැහැ. නමුත් අලූත් කෙටුම්පතේ ඇතැම් කොන්දේසි පිළිබදව මේ වන විට අපි සාකච්ඡා කරමින් සිටින බව පැවසිය යුතුයි. ඒ පිළිබදව අනුර කුමාර දිසානායක මැතිතුමාත් අදහස් දැක්වූවා. එහි තිබෙන ඇතැම් කොන්දේසි අපට පිළිගත නොහැකියි. එම කොන්දේසි පිළිබදව මා දැනුම් දී තිබෙනවා. මේ වන විට ඒ පිළිබඳව අදාල අමාත්‍යාංශය සහ ඇමෙරිකානු තානාපති කාර්යාලය සාකච්ඡා කරමින් සිටිනවා. ඇතැම් විට එම සාකච්ඡා සාර්ථක විය හැකියි. ඇතැම් විට එය අසාර්ථක විය හැකියි.


    නමුත් ශ්‍රී ලංකාවේ පරමාධිපත්‍යයට සහ සෛවරීත්වයට හානි වන කිසිදු ක්‍රියාවක් අප සිදු කරන්නේ නැහැ. ඇතැම් මාධ්‍ය මෙවැනි හානිදායක ගිවිසුමක් අප අත්සන් කළායැයි පවසා තිබෙනවා. අප අත්සන් කළා යැයි ඔවුන් පවසන එම ගිවිසුම කරුණාකර මා වෙතට පත්කිරීමට කටයුතු කරන මෙන් මම ඔවුන්ට ප්‍රකාශ කරනවා. එය හොර ගිවිසුමක් විය යුතුයි. එසේ නම් එවැනි හොර ගිවිසුමක් අත්සන් කළ පුද්ගලයින් පිළිබදව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට මට සිදුවෙනවා. රට මෙවැනි තත්වයකට ඇද දමන්නට කටයුතු කරන්නේ කවුදැයි එම ගිවිසුමෙන් අපට බලාගැනීමට හැකියාව ලැබෙනවා.


    එම නිසා 1995 ලිපි හුවමාරුවෙන් පසුව අප අත්සන් කළ වෙනත් සෝෆා ගිවිසුමක් තිබේ නම් කරුණාකර එය ඉදිරිපත් කරන ලෙස මෙවැනි ගිවිසුමක් තිබෙනවා යැයි පවසන මාධ්‍ය ඇතුළු සියලූම පුද්ගලයන්ට මම ප්‍රකාශ කරනවා. මෙවැනි සෝෆා ගිවිසුම් දකුණු අප්‍රිකාව, සිංගප්පුරුව, මැලේසියාව වැනි රටවල තිබෙනවා. ඒවා විවිධාකාරයි. ඇක්සා ගිවිසුමේ සංශෝධන කිහිපයක්ම තිබෙනවා. ඇතැම් සංශෝධන අප ඉදිරිපත් කර තිබෙන අතර තවත් සංශෝධන එම රටවල් විසින් ද ඉදිරිපත් කර තිබෙනවා. පළමුවෙන් Points of Contact ලෙස ශ්‍රී ලංකාව එහි සදහන් කර තිබුණේ යුධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව ලෙසයි. දැන් එය සංශෝධනය කරමින් අප ආරක්ෂක අමාත්‍යාංශය ලෙස වෙනස් කර තිබෙනවා. ඒ වගේම ඇමෙරිකාවත් Points of Contact සංඛ්‍යාව වැඩි කර තිබෙනවා. ඔවුන් ඔවුන්ගේ සංවිධානය යටතේ අණදෙන කාර්යාල වැඩිකර තිබෙනවා.


    අපේ රටේ අණදීම් සිදු කරන්නේ හමුදාපතිවරුන්. ඇමෙරිකාවේ ''ගෝල්ඩ්වෝටර් නිකලස් (Goldwater Nichols)''පෙනත යටතේ ඒ ඒ කලාප භාර පුද්ගලයන් අණදීම් සිදු කරනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා විසින් එම සංඛ්‍යාව වැඩි කළා නම් මට කිරීමට දෙයක් නැහැ. එදා ඇමෙරිකානු නාවික හමුදාවට තිබුණේ යුධ නැව් 491ක් පමණයි. නමුත් අද වන විට එම ප්‍රමාණය 600ක් දක්වා වැඩිකිරිමට ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

    නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, අප මූලික ගිවිසුම දෙසට අවධානය යොමු කරන විට 2007 ගෝඨාභය රාජපක්ෂ සමග ශ්‍රී ලංකාවේ අත්සන් කරනු ලැබූ ඇක්සා ගිවිසුම පිටු 07කින් යුක්තයි. නමුත් අප අත්සන් කළ ඇක්සා ගිවිසුමේ තිබෙන්නේ පිටු 05ක් පමණයි. එයින් පෙන්නුම් කරන්නේ පළමු ගිවිසුමට වඩා අප යම් ප්‍රමාණයක් අඩුකර ගෙන තිබෙන බවයි. ඔබලා පවසන ආකාරයට පිටු 05 ගිවිසුම, පිටු 07 ගිවිසුමට වඩා හානිදායක වන්නේ කෙලෙසදැයි මට පවසන්න.

    බොහෝ අයට පිටු 07ක ගිවිසුම හොඳ වන අතර පිටු 05ක් තිබෙන ගිවිසුම නරක ගිවිසුමක් බවට පත්වී තිබෙනවා. එය රට පාවාදෙන ගිවිසුමක් බව සඳහන් කළත් පිටු 07ක් තිබෙන ගිවිසුම පිළිබදව කවුරුන් හෝ අදහස් ප්‍රකාශ කරන්නේ නැහැ. මම බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳව යම් ගැටළුවක් තිබෙනවා නම් එය පැහැදිලිව අපට ඉදිරිපත් කරන්න.

    මෙහි ගැටළුව වී තිබුණේ ඇමෙරිකානු පුරවැසියෙක් මෙම ගිවිසුමට අත්සන් කිරීමයි. සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම් ලෝකය පුරා තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි. ඉන්දු ලංකා ගිවිසුම සමඟ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා සහ රජිව් ගාන්ධි අගමැතිතුමා අතර ලිපි හුවමාරුවක් ඇතිවුණා. එහි අප සඳහන් කර තිබෙන්නේ "Trincomalee or any other ports in Sri Lanka will not be available for military use by any country" නිසයි. අප තීරණය කළේ කිසිවෙකුටත් අපේ වරායන් භාවිත කිරීමට ඉඩ නොදෙන බවටයි. චීනයට, ඇමෙරිකාවට හෝ එංගලන්තයට අපි අපේ වරායන් ලබාදෙන්නේ නැහැ. අවශ්‍ය නම් ඔවුන් රට තුලට පැමිණිය යුතුයි.

    අප වැඩකටයුතු කරන්නේ මේ අනුවයි. සුනාමියෙන් පසුව ඇමෙරිකාවෙන් පැමිණ එම ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකළේ ශ්‍රී ලංකාව අල්ලා ගැනීමට බව පාර්ලිමේන්තුවේදී අපේ මන්ත්‍රීතුමන්ලා ප්‍රකාශ කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ඇමෙරිකා නාවික හමුදාව යනු මාළු අල්ලන බෝට්ටුවල වෙරළට පැමිණෙන හමුදාවක් නොවෙයි. ඇත්ත වශයෙන්ම ඔවුන්ට මේවා අවශ්‍ය නැහැ. ඔවුන්ගේ ප්‍රධාන කඳවුරු පිහිටා තිබෙන්නේ ජපානයේ, දකුණු කොරියාවේ, හවායි සහ දියෝගෝ ග්‍රාසියා වලයි. ඔවුන්ගේ නාවුක ගුවන් හමුදාවට ප්‍රහාරක ගුවන් යානා දහසක් තිබෙනවා.

    ලෝකයේ ප්‍රධානම ගුවන් හමුදාව අමෙරිකානු ගුවන් හමුදාව වන අතර දෙවන විශාලම ගුවන් හමුදාව වන්නේ රුසියානු ගුවන් හමුදාවයි. එහි තුන්වන ස්ථානය චීන ගුවන් හමුදාවට හිමිවන අතර, එහි සිව්වන ස්ථානය හිමිවන්නේ අමෙරිකාවේ නාවුක ගුවන් හමුදාවටයි. ඔවුන්ගේ රොනල්ඩ් රේගන් වැනි එක් නෞකාවක ප්‍රහාරක ගුවන් යානා 90ක් පමණ ස්ථානගත කර තිබෙනවා. ප්‍රහාරක ගුවන් යානා 90ක් එකවර ස්ථානගත කළ හැකි තැනක් ලංකාවේ තිබෙනවාද ? රට ඔවුන්ට දුන්නත් මෙවැනි ප්‍රහාරක යානා විශාල සංඛ්‍යාවක් ස්ථානගත කර ගන්නේ කොහේද ? ඔවුන්ට ඒවා ස්ථානගත කිරීමට තිබෙන්නේ මහ මුහුද පමණයි. ඔවුන් වෙනත් රටවල් ආක්‍රමණය කරනවා නම් ඒ සඳහා නෞකා තිබෙනවා. ඇමෙරිකානු නාවික හමුදාව බෝට්ටුවලින් පැමිණෙන්නේ නැහැ. ඔවුන් පැමිණෙන්නේ නෞකා සහ ගුවන් යානා වලින් පමණයි. ඔවුන් භාවිත කරන එක් හෙලිකොප්ටර් යානයක හමුදා බලඇණි 33ක් ගෙන යාමට පුළුවන්. ප්‍රහාරක නෞකා ප්‍රවාහනය කරන විශාල නැව් (Transport Dock) හරහා තවත් බලඇණි 11ක් ගෙන යා හැකියි. ඒ අනුව එක වර බලඇණි 44ක් ප්‍රවාහනය කිරීමට තරම් හැකියාවක් ඔවුන්ට තිබෙනවා. ඔවුන් යුද්ධ කරන්නේ අලූත් ක්‍රමයකටයි. නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ පැරණි පෘතුගීසිකාරයන් මෙන් ඇමෙරිකාව බෝට්ටුවලින් වෙනත්
    රටවල වෙරළ කරා පැමිණෙන බවයි.

    අප සිටින්නේ එවැනි යුගයක නොවේ. එලෙස පැමිණ අපේ රට ආක්‍රමණය කිරීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම අප බලාපොරොත්තු වන්නේත් නැහැ. අපට අවශ්‍යව තිබෙන්නේ ඉන්දියානු සාගර කලාපයේ නාවුක ගමනාගමනය ආරක්ෂා කිරීමයි. නාවුක ගමනා ගමනය ආරක්ෂා කිරීමට කටයුතු කරන අපට වෙනත් රටක් විසින් කඳවුරු බැදීමට ඉඩදිය නොහැකියි.

    කාලයක් අපි චීනයට මෙහි කඳවුරු බදින්නට ඉඩ දුන්නා යැයි ඇතමුන් පැවසුවා. දැන් ඇමෙරිකාවට කඳවුරු බැදීමට අපි ඉඩ දෙනවා යැයි ඔවුන් පවසනවා. මේ පිළිබඳව බොහෝ විශේෂඥයින් සිටින බව මට පෙනෙනවා. තෙල් බෙහෙත් කාරයින් මෙන් මේවා පිළිබඳව ඔවුන් අදහස් දක්වනවා.
    ඒ වගේම "මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්" පිළිබඳවත් විමසා තිබුණා. එය ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ආධාර ලබා ගැනීම සඳහා වන ගිවිසුමක් පමණයි. අප ඉල්ලා තිබෙන ව්‍යාපෘති ගණනාවක් සඳහා ඔවුන් මුදල් ලබා දෙනවා. ඩොලර් මිලියන 350ක ඇස්තමේන්තු ගත ප්‍රවාහන ව්‍යාපෘති, ඉදිරි වසර 20 තුල ප්‍රමාණිත ආර්ථික ප්‍රතිලාභ අනුපාතය 19% වන අතර ඒ මගින් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල නගරබද හා පළාත් බද ප්‍රවාහන යටිතල පහසුකම් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නිසා ග්‍රාමීය ප්‍රවාහනය දියුණු කිරීමට ඔහු විරුද්ධයි ද යන පැනය මට ඇති වෙනවා. ඉන් පසුව තිබෙන්නේ ඉඩම් සංවර්ධන ව්‍යාපෘතියයි. ඒ ව්‍යාපෘතිය වෙනුවෙන් අප ආධාර ඉල්ලා සිටියා. ඉඩම් ලේඛනගත කිරීම, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම, ඉඩම් වාර්තා ඩිජිටල් ගත කිරීම, දේපල ඔප්පු හිමිකම් සහතික බවට පරිවර්තනය කිරීම, ඉඩම් ප්‍රතිපත්ති ලේකම් කාර්යාලය ඇතිකිරීම. මේ සඳහා පමණයි අප ආධාර ඉල්ලා තිබෙන්නේ. මෙම යෝජනා පාර්ලිමේන්තුවේ අනුමත කර ගන්නා ලෙස ඔවුන්ගේ නීතිය අනුව අපට දැනුම් දී තිබෙනවා. නමුත් ඇමෙරිකාව අත්සන් කළ යුතු නැහැ. අත්සන් කළ යුත්තේ පාර්ලිමේන්තුව පමණක් යැයි අපේ පාර්ලිමේන්තුව පවසනවා නම් එය මම ඇමෙරිකාවට පවසන්නම්. ''අපේ පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා එවීම අවශ්‍ය නැහැ. ඇමෙරිකාව විසින්ම එය අනුමත කර ඉදිරියට
    ක්‍රියාත්මක කරන ලෙස''මම ඔවුන්ට පවසන්නම්. රටවල් ගණනාවක මෙවැනි ගිවිසුම් ක්‍රියාත්මක කිරීමේදී පාර්ලිමේන්තු අනුමැතිය ලබාගත යුතුයි. ශ්‍රී ලංකාව ලෙස අපිත් එම ක්‍රමවේදයම අනුගමනය කරනවාද, එය අත්හරිනවාද යන්න තීරණය කළ යුතුයි.

    මට සිතෙන ආකාරයට ඇක්සා ගිවිසුම සහ මෙම ගිවිසුම අතර වෙනසක් නැහැ. නමුත් එය සංසන්දනය කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. නව සෝෆා ගිවිසුමක් අප අත්සන් කර නැහැ. මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම ආධාර ලබාගැනීමට පමණක් තිබෙන ගිවිසුමක් බවත් ප්‍රකාශ කළ යුතුයි. එය කැබිනට් මන්ඩලයේ සම්මත වූ පසු පාර්ලිමේන්තුවට එවීමට අප කටයුතු කරනවා.

     

     

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya