අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මතින් නිදහස් රටක්” වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙයි

    අප්‍රේල් 03, 2019

     

    වර්තමානයේ දේශයේ ගම් නියම්ගම් සිසාරා දස දිග පැතිර යන මත්ද්‍රව්‍ය ව්‍යසනය ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ අනාගත සුරක්ෂිතතාව ද අඳුරු කරමින්, සමස්ත ජන ජීවිතය ද පීඩනයට පත් කරමින් හිස ඔසවමින් සිටින බව ප්‍රත්‍යක්ෂ සත්‍යයකි.

    මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුමකරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා කැපවන බවට රටම එක්ව දිවුරුම් දුන් “බක්මහ දිවුරුම” අද (03) පෙරවරුවේ සිදු කෙරිණි.

    එහි සමාරම්භක අවස්ථාව සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසුරිය යන මහත්වරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද (03) පෙ.ව 8.30 ට කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

    ආණ්ඩුකාරවරුවන්. පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරින් ද , ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු අරක්ෂක අංශ ප්‍රධානිහු ඊට එක්ව සිටියහ. මේ අතර ජාති භේදයකින් තොරව ජනතාව ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    මතින් නිදහස් රටක් අනාගත පරපුර වෙත උරුම කරදීම වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන සාර්ථක කරගැනීමෙහිලා, තමා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවටත්. මේ වන විට එයට ගොදුරුවී සිටින/නොසිටින තම ඥාති, හිතමිත්‍රාදීන් ද මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට පියවර ගන්නා බවටත්, සමස්ත ශ්‍රී ලාංකික සහෘද ප්‍රජාව මතින් නිදහස් කරගැනීම වෙනුවෙන් තමා වෙත පැවරෙන උත්කෘෂ්ට වූ සාමුහික කාර්යභාරය උපරිම කැපවීමෙන් හා අවංකභාවයෙන් යුතුව සපුරා ඉටුකර ගැනීමට අධිෂ්ඨාන පෙරදැරිව කැපවන බවටත් මෙහි දී සියලුදෙනා ප්‍රතිඥා දුන්හ.

    මෙම අවස්ථාව විද්්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවි ව විකාශය කෙරුණු අතර, ඒ හා සමගාමීව තම ආයතනවල සිට රාජ්‍ය සේවකයන් ද, පොදු මහජනතාව සහ පාසල් දරුවන් ද බක්මහ දිවුරුමට එක්වීම විශේෂත්වයකි.

    මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ජාතික කර්තව්‍යය තවදුරටත් සාර්ථක කර ගැනීමට පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පීය වෙනසකින් හා සක්‍රීය දායකත්වයකින් යුතුව මේ ව්‍යසනය පිටුදැකීමේ වැඩපිළිවෙළකට අවතීර්ණ විය යුතු බව ජනාධිපතිතුමාගේ විශ්වාසය යි.

    එකී වැඩපිළිවෙලේ තවත් නව ප්‍රවිශ්ටයක් ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් ,බක්මහ දිවුරුම, වැඩසටහන අද දින සංවිධානය කර තිබූ අතර මේ සමඟම මතට එරෙහි වැඩපිළිවෙළ සියලු අංශවල සහයෝගයෙන් ශක්තිමත් ව බලගැන්වීම ජනාධිපතිතුමාගේ අරමුණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya