මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගි වීමට ජනපති කෙන්යාවට

    මාර්තු 14, 2019

    කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා   (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

    කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සමුළුවට එක් වෙයි.

    “පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වේ.

    එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර, හෙට දහවල් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

    ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට සහභාගීවීමට නියමිතය.

    තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාවය සහ ජෛව විවිධත්ව විනාශය වැළැක්වීම ඇතුළු දිළිදුභාවයට සහ ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ පරිසර අභියෝග, සම්පත්වල කාර්යක්ෂමතාව, බල ශක්තිය, රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීවන චක්‍ර ප්‍රවේශයන් සහ සීග්‍ර තාක්ෂණික වෙනස්වීම්වලට භාජනය වන අවධියක නවෝත්පාදක තිරසර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව මෙවර සමුළුවේ දී අවධානය යොමු කෙරේ.

    සිය සිවු දින කෙන්යා නිල සංචාරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා ද හමුවීමට නියමිත ය.

    1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශිලි සබඳතාවයකි. දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල් වෙයි.

    කෙන්යාව ශ්‍රී ලංකාවෙහි විශේෂිත වෙළඳ සහකරුවෙකු නොවන නමුත් අන්‍යෙන්‍ය ප්‍රතිලාභය උදෙසා, භාවිතා නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳව දෙරටම උනන්දුවක් දක්වමින් සිටී.

    මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල යෙදෙති.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya