අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ×

    අවවාදයයි

    JUser: :_load: 60: හැඳුණුම සමග පරිශීලකයා ප්‍රවේශනය කල නොහැකිය

    උතුරු හා නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම් දෙසැම්බර් 31 දාට පෙර අවසන් කරන ලෙස ජනපතිගෙන් අදාළ අංශවලට උපදෙස්

    ඔක්තෝබර් 06, 2018

    උතුරු නැගෙනහිර ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් අනිවාර්යයෙන්ම එම ජනතාවට ලබාදිය යුතු අතර, සියලු ගැටලු නිරාකරණය කර ගනිමින් මෙම දෙසැම්බර් 31 වනදාට පෙර එම ඉඩම් නිදහස් කිරීම් අවසන් කරන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය තුන්වන වරටත්   (03) පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී ය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්විණි.

    ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ විධිමත් කාල රාමුවක් සකසා ගනිමින් අදාළ වැඩපිළිවෙළ දියත් කරන ලෙසත්, එහි ප‍්‍රගතිය ලබන මස පැවැත්වෙන උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමට ඉදිරිපත් කරන ලෙසත් ය.

    එමෙන්ම උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල, සන්නද්ධ බලකායන් යටතේ පවත්නා, පාසල්වලට අයත් ඉඩම් සහ ගොඩනැගිලි නිදහස් කිරීම පිළිබඳව හා උතුරු හා නැගෙනහිර ප‍්‍රදේශවල පානීය ජල ගැටලුව විසඳීමට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

    ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ ඇතැම් ප‍්‍රදේශවල ජනතාවට තදබල ජල හිඟයකට මුහුණපෑමට සිදුව තිබෙන අතර එම ගැටලුව විසඳීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී කරුණු විමසීය.

    අක්කරෙයිපත්තු හි ජල සම්පත යෝග්‍ය ප‍්‍රමාණයන්ගෙන් පවත්නා නමුදු, බෙදා හැරිමේ ජාලයක් නොමැතීවීම හේතුවෙන් ඇතැම් ගම්මාන සහ ප‍්‍රජාවන් වෙත ජලය බෙදාහැරීමේ ප‍්‍රවේශ ඇහිරී තිබෙන අතර ඒ සඳහා කඩිනමි විසදුම් සෙවීම පිළිබඳව ද අවධානය යොමු විය.

    කිලිනොච්චි දිස්ත්‍රික්කයට බලපා ඇති නියං තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට ගෙන යන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය හා උතුරු නැගෙනහිර පළාත්වල ප‍්‍රචණ්ඩත්වය හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට ගෙනයන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය ද විශේෂ සාකච්ඡාවට ලක්වී තිබේ.

    මඩු පූජනීය ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතුවල ප‍්‍රගතිය ද විමසූ ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ දීර්ඝකාලීන යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර ජනතාවට අහිමි වූ සංවර්ධනයේ ප‍්‍රතිලාභ නැවත එම ජනතාවට ලබාදීමේ දී සියලු පාර්ශ්වයන් තම වගකීම් නිසියාකාරව ඉටුකළ යුතු බවයි.

    සියලු අංශවල සහයෝගය ලබා ගනිමින් අපේක්ෂිත සංවර්ධන අරමුණු කරා ළඟාවීමේ වැදගත්කම ද මෙහිදී ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

    විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින්, ත‍්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පතිතුමා ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya