මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය මැඬ පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා- අග්‍රාමාත්‍ය

    ජූලි 18, 2018

    මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය මැඬ පැවැත්වීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා පොලිසියත්, පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමත් යොදවා තිබෙනවා. එම කාර්යය සාර්ථක වෙමින් තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

     

    වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට  (14 ) දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව


    අද දහවල් කාලයේ වාරියපොළ පොලිස් ස්ථානයත්, වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් විවෘත කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ වගේම පෙරවරුවේ ගොකරැල්ල පොලිසියත් ඉම්බාගමුව ශ්‍රවණාගාරයත් මම විවෘත කළා. පස්වරුවේ මෙම ස්ථානයට පැමිණීමටත් මට අවස්ථාව ලැබුණා. මේ ආකාරයට අපි සංවර්ධන වැඩකටයුතු රාශ්‍රීයක් එකවර ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වෙනුවෙන් කැපවී වැඩකටයුතු කරන ස්වදේශ කටයුතු අමාත්‍යතුමා වන වජිර අබේවර්ධන අමාත්‍යතුමාට අපි ස්තූතිවන්ත විය යුතුයි.

    එතුමාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04 ක් අලූතින් ඉදිකර තිබෙනවා. ඉදිරියේදී තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 05 ක් ඔබට ලබාදීමට නියමිතයි. අප මෙම පහසුකම් ඔබට ලබා දෙන්නේ දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල පහසුකම් අවම මට්ටමක පවතින නිසයි. එතුමා රටපුරා සිදු කරන මෙම සේවාව වෙනුවෙන් අප ස්තූතිවන්ත විය යුතුයි.

    නිසි පරිපාලනයක්, අවශ්‍ය පහසුකම් ආදිය නොමැතිව රටක නිසි පාලනයක් ගෙන යාමට හැකියාවක් නැහැ. එම නිසා ග්‍රාමීය මට්ටමේ පරිපාලනය සිදුකරමින් අපට සහයෝගය දක්වන මෙම ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු ඔබ සියලූ දෙනාටම මගේ ස්තඣතිය පුද කර සිටිනවා. අද ගොකරැල්ලට සහ වාරියපොළට නව පොලිස් ස්ථාන 02 ක් ලබාදී තිබෙනවා. ඒ වගේම රටේ අනෙක් ප්‍රදේශවලත් රජයේ මුදලින් නව පොලිස් ස්ථාන ගණනාවක් ඉදිකර තිබෙනවා. පොලිසිය හරහා රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම ඉතා වැදගත්. නීතිය හා සාමය අමාත්‍යංශය අප පිහිටවූයේ එම නිසායි. රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිතුමා එය භාරගෙන තිබෙනවා. රාජ්‍ය පරිපාලනයත් නීතිය හා සාමයත් එකට සම්බන්ධ කර ගනිමින් එතුමා වැඩ කටයුතු සිදු කරනවා. පොලිසිය යනු හමුදාවේ කොටසක් නොවෙයි. එය හඳුන්වන්නේ සිවිල් සමාජයේ කොටසක් ලෙසයි. එම නිසා එතුමාගේ යටතේ මෙම වැඩකටයුතු සිදු කෙරෙනවා. ඒ වගේම පොලිස්පතිතුමාත් මෙම නීතිය හා සාමය රටේ ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනවා. පොලිස්පතිතුමා සහ අමාත්‍යවරයාට පමණක් නොව සමස්ථ පොලිසියටම මම මේ අවස්ථාවේ මගේ ස්තූතිය පුද කර සිටිනවා. විශේෂයෙන්ම අපරාධ මර්දනය කිරීමට වර්තමානයේ ඔබලා ගෙන ඇති පියවර ඊට හේතුවයි.

    මත්ද්‍රව්‍ය පිළිබඳව බලන විට මීට පෙර පැවැති පාලකයින් මත්ද්‍රව්‍ය පාලනය ලෙස හැදින්වූයේ මත්ද්‍රව්‍ය බෙදාහරින තරුණයින් කිහිප දෙනෙක් අල්ලා ගැනීම පමණයි. ග්‍රෑම් භාගයක් පමණ ළඟ තබාගෙන බෙදාහැරීමේ නිරතවුණු තරුණයෙක් අල්ලාගෙන එම පුවත මාස 06 ක් පමණ මාධ්‍ය හරහා රටට ලබා දුන්නා. නමුත් බෙදාහරින තරුණයින් අල්ලාගැනීමෙන් කිසිම විටෙක රටේ මත්ද්‍රව්‍ය උවදුර අවසන් වූයේ නැහැ.

    එම නිසා 2016 සිට අප අලූත් ක්‍රමවේදයක් ආරම්භ කළා. ඒ අනුව මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය මැඩපැවැත්වීමට අප කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා
    පොලිසියත්, පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායමත් යොදවා තිබෙනවා. එම කාර්ය අද සාර්ථක වෙමින් තිබෙනවා.උදාහරණයක් ලෙස 2015 දී අපි හෙරොයින් කිලෝග්‍රෑම් 46 ක්, 2016 දී එය
    කීලෝග්‍රැම් 207 ක්, 2017 දී එය කිලෝග්‍රෑම් 350 ක් බවට පත්වුණා. මේ වසරේ මාස 07 ක් ගතවන විට කිලෝග්‍රෑම් 150 ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 දී ගංජා කිලෝග්‍රෑම් 6570 ක්, 2016 දී කිලෝග්‍රෑම් 4178 ක්, 2017 දී කිලෝග්‍රෑම් 4987 ක්, 2018 ගෙවුණු මාස 07 තුළදී කිලෝග්‍රෑම් 2900 ක්
    අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2015 දී කොකේන් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය කිලෝග්‍රෑම් 06 ක් පමණයි. නමුත් එය 2016 දී කිලෝග්‍රෑම් 1571 ක් බවට පත් වුණා. 2017 දී කොකේන් කිලෝග්‍රෑම් 221 ක් අත්අඩංගුවට ගත්තා. 2018 මේ වනතුරු කොකේන් ග්‍රෑම් 14 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සාම්පූර් ප්‍රදේශයෙන් පසුගියදා මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති ආකාරය අප දුටුවා.

    එසේ නම් අප බිඳහෙළිය යුත්තේ මත්ද්‍රව්‍ය සැපයුම් ජාලයයි. ගංජා මත්ද්‍රව්‍ය හැර අනෙක් සියලූ මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ විදෙස් රටවල් වලිනුයි. ඒ වගේම ඒවා ශ්‍රී ලංකාවට විදෙස් රටවල් වල සිටි සපයන්නේත් ශ්‍රී ලාංකිකයින්මයි. ඩුබායි, පකිස්තානය, ඉන්දියාව ආදී රටවල ඔවුන් ජීවත් වෙනවා. ඔවුන් පිළිබඳව තොරතුරු සොයා ගනිමින් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාත්මක වන ලෙස අප නීතිය හා සාමය අමාත්‍යතුමාටත්, අධිකරණ ඇමැතිනියටත්, විදේශ කටයුතු අමාත්‍යතුමාටත්, පොලිස්පතිතුමාටත් දැනුම් දී තිබෙනවා. ඒ වගේම මෙම මත්ද්‍රව්‍ය ජාලය බිඳහෙලීමට එම රටවල් වල සහය ලබා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.

    සැපයුම් අඩුවන විට මත්ද්‍රව්‍යවල මිල වැඩි වෙනවා. මේ වනවිට පෙර පැවැති මත්ද්‍රව්‍ය මිල තුන් ගුණයකින් පමණ වැඩි වී තිබෙනවා. ඒ වගේම සැපයුම අඩුවන විට කෙසේ හෝ සැපයුම් ලබා ගැනීමට රට තුළ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි සටන් කරනවා. එය වෙඩි තබා ගැනීම් දක්වා වර්ධනය වී තිබෙනවා. එවැනි සිද්ධි ගණනාවක් මේ වන විට වාර්තා වී තිබෙනවා. සාමාන්‍ය ජනතාව අතර නොව ජාවාරම්කරුවන් අතරම වෙඩි තබා ගනිමින් ගැටුම් ඇති කරගන්නා තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබෙනවා. අප සැපයුම්කරුවන් නීතියේ රැහැනට අල්ලාගන්නා විට එය ඉදිරියේදී ක්‍රමානුකඣලව අඩු වෙනවා. ඒ පිළිබඳව අප ඉදිරියට ගත යුතු පියවර පිළිබඳවත් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කර තිබෙනවා. මත්ද්‍රව්‍ය පාලනය නොකර රටේ සංවර්ධනයක් ඇති වන්නේ නැහැ. කුරුණෑගල ප්‍රදේශයේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රීවරු ගණනාවක් අද මෙම ස්ථානයේ සිටිනවා. මෙහි සිටින මැති ඇමැති ප්‍රමාණයට අනුව නව කැබිනට් මණ්ඩලයක් වුවත් ඇති කළ හැකියි. බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම අමාත්‍යතුමා, සමෘද්ධි ඇමැතිතුමා පිට පළාතක වුවත් මෙම ස්ථානයේ සිටිනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් ඇමැතිතුමා, නීතිය හා සාමය භාර නියෝජ්‍ය අමාත්‍යතුමා, ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යතුමා, ස්වදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති වගේම අධීක්‍ෂණ මන්ත්‍රීවරු දෙදෙනෙකුත් මෙහි සිටිනවා. ඒ වගේම වයඹසංවර්ධන අමාත්‍යතුමාත් මෙහි සිටිනවා. එතුමාට අපි විශාල වැඩ කොටසක් භාර දී තිබෙනවා.

    මෙතෙක් කල් වයඹආර්ථිකය ලෙස හැදින්වූයේ පොල් වගාව සහ වී වගාවයි. නමුත් අපේ ආණ්ඩුව යටතේ ගනු ලබන පියවර හරහා අපි වයඹට කර්මාන්ත හා සේවා ආර්ථිකයක් ලබා දීමට කටයුතු කරනවා. ඒ සියල්ල මේ ප්‍රදේශයට ගෙන ඒමට පෙර මහා මාර්ග අවශ්‍ය වනවා. එම නිසා අප මේ වනවිට මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. එහි දෙවන අදියරේ වැඩකටයුතු අපි භාර දී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සමාගම් වෙතයි. එහි වැඩකටයුතු දැන් ආරම්භ කර තිබෙනවා. චීනයෙන් ලැබුණු ණය මුදල් යටතේ පළමු අදියර ඉදිකිරීම් කටයුතු කරන්නේ චීන සමාගම් හරහායි. එය මේ වසරේ ආරම්භ කිරීමට නියමිතයි. මධ්‍යම අධිවේගයෙන් 03 වන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා වන කොටස ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ ජපාන සමාගමක් විසින්. එහි අවසන් අදියර වන ගලගෙදර සිට කටුගස්තොට දක්වා ඉදිකිරීම් කටයුතු සිදු කරන්නේ ඉන්දියානු සමාගම් හරහායි. මෙම වැඩකටයුතු අවසන් වූ පසු රටේ ප්‍රධානම මාර්ගයක් වයඹප්‍රදේශය හරහා ගමන් කරන කාලය ඉදිරියේදී උදා වන බව කිවයුතුයි. මධ්‍යම අධිවේගය යනු ලංකාවේ ප්‍රධානතම නගර 02 ක් වන මහනුවර කොළඹ එකට යා කරන මාර්ගයයි. ඒ වගේම කොළඹ හම්බන්තොට
    අධිවේගයේ වැඩ කටයුතුත් ආරම්භ වී තිබෙනවා. මෙම මාර්ග පහසුකම් නිසා පැය 04න් කොළඹ සිට හම්බන්තොට දක්වා ගමන් කළ හැකියි. මෙම අධිවේගී මාර්ග අග්‍රිතව අප නව වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. ඒ හරහා අප කර්මාන්තකරණය වයඹට ගෙන එනවා.

    1977 දී කර්මාන්ත සීමා වූයේ කොළඹට සහ කටුනායකට පමණයි. නමුත් 77 දී ආරම්භ වූ බියගම කටුනායක වෙළඳ කලාප අද මිරීගම ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කිරීමට අපට හැකි වී තිබෙනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ සමයේදීඑතුමා රටේ සෑම ප්‍රදේශයකම ඇඟළුම් කර්මාන්ත ශාලා ඉදි කළා. ගම්පහ දිස්ත්‍රික්කය තුළ විශාල ආයෝජන කලාප 02ක් ඇති කළ ආකාරයටම එවැනි ආයෝජන කලාප මෙම ප්‍රදේශයටත් ගෙන ඒම අපේ අරමුණයි. ඉන් පළමුවැන්න බිංගිරිය කර්මාන්ත කලාපයයි. එහි වැඩකටයුතු අප මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

    දෙවැන්න මාවතගම කර්මාන්ත කලාපයයි. මෙම කර්මාන්ත කලාප සඳහා අවශ්‍ය මුදල් අප ලබාගෙන තිබෙනවා. බිංගිරිය කර්මාන්ත කලාපයට අවශ්‍ය ජලය ලබා ගැනීමේ සැලැස්මක් ද අප නිර්මාණය කර තිබෙනවා. අප කර්මාන්ත කලාප සකස් කිරීමෙන් පසුව ආයෝජකයින්ට ආරාධනා කරනවා. ආයෝජකයින් පළමුවෙන් අවධානය යොමු කරන්නේ මහා මාර්ග, ජලය, විදුලි බලය ආදිය වෙතටයි. එම අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම අප දැන් ආරම්භ කර තිබෙනවා.

    ඒ වගේම කුලියාපිටියේ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩකටයුතුත් දැන් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට ශ්‍රමිකයින් පුහුණුකිරීමේ මධ්‍යස්ථානයේ වැඩකටයුතු අවසන් වී තිබෙනවා. මේ අවට ප්‍රදේශවල තරුණ තරුණියන් ඊට බඳවා ගැනීමෙන් පසු එම පුහුණුව ලබා දීම ආරම්භ කරනවා. එම ආයෝජකයින් අපත් සමග පැවසුවේ පුහුණු ශ්‍රමිකයින් නොමැතිව මෙම කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට නොහැකි බවයි. මේ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වාහන නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාව අප කුලියාපිටියේදී ආරම්භ කරනවා.

    මේ ආකාරයේ විශාල කර්මාන්ත කරණයක් මෙහි ඇති වනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමත් අපේ අරමුණක්. ඉරණවිල සංචාරක කලාපයක් ඉදිකිරීම වෙනුවෙන් අප වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ගල්ගමුව තුළ වනජීවී සංචාරක කලාපයක් ඇති කිරීමටත් ඇමැතිතුමා යෝජනා කර තිබෙනවා. කල්පිටිය සංචාරක කලාපයේ දෙවන අදියර පිළිබඳවත් මේ වනවිට සාකච්ඡා සිදු කරනවා. මෙම කර්මාන්ත ඉදි කිරීමෙන් පසු හලාවත, කුරුණෑගල, කුලියාපිටිය ආදී ප්‍රදේශවලට සම්පූර්ණ කර්මාන්තකරණයක් ඇති වෙනවා. මේ සියලූම ප්‍රදේශ විශාල දියුණුවක් කරා ළඟා වෙනවා. මධ්‍යම අධිවේගී මාර්ග සැලැස්ම හරහා කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත් කිරීමට අප සැලසුම් ඇති කරනවා. අශෝක අබේසිංහ ඇමැතිතුමා එහි වැඩකටයුතු සිදු කරමින් සිටිනවා.

    එවිට පොතුහැර සිට කුරුණෑගල දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා. එම ඇති වන දියුණුව වාරියපොළ ප්‍රදේශය දක්වා ව්‍යාප්ත වෙනවා. අනෙක් පසින් කුලියාපිටිය දක්වා ව්‍යාප්ත වෙනවා. එසේ නම් ගම්පහ ප්‍රදේශයේ ඇති වූ දියුණුවට සමාන දියුණුවක් මේ ප්‍රදේශයේ ඇතිවීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් ඇතැම් අය ප්‍රසාදය පළ කරයි. ඇතැම් අය මටත්, ආණ්ඩුවටත්, ජනාධිපතිතුමාටත් දෝෂාරෝපණය කරයි. නමුත් අප කෙසේ හෝ රට තුළ අපනයන කර්මාන්තකරණයක් ඇති කරනවා.

    ගම්පහ ප්‍රදේශය තුළ අපනයන කර්මාන්තකරණයක් ඇති කිරීම අපට වසර 05-06 ක් ගත වුණා. නමුත් අප කෙසේ හෝ එය ඉටු කළා. මෙම ප්‍රදේශයේ පළමු අවශ්‍යතාව මාර්ග පහසුකම ඇති කිරීමයි. ඉන් පසුව නගරය සංවර්ධනය වනවා. එවිට අධ්‍යාපන සංවර්ධනයට අවධානය යොමු කළ යුතුයි. අකිල ඇමැතිතුමා කුලියාපිටිය වෙත විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශ්ව විද්‍යාල පීඨයක් ද එහි ඇති කර තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයට ජාතික පාසැල් 02 ක් ලබා දීමට අපි කටයුතු කරනවා. ඉන් එකක් කුරුණෑගලට ලබා දෙන අතර අනෙක් ජාතික පාසල වාරියපොළ ප්‍රදේශයට
    ලබා දෙනවා. එසේ නම් අධ්‍යාපනය දියුණු වන විට ප්‍රදේශවල ජනගහනය වර්ධනය වනවා. එවිට තවත් පහසුකම් වර්ධනය කළ යුතු වෙනවා. අප ජාතික පාසල් 02 ක් ලබා දෙන්නේ එම නිසයි. එවිට මේ ප්‍රදේශයේ ජනතාවටත්, ඉදිරියේදී මේ ප්‍රදේශවලට පිට පළාත් වලින් පැමිණෙන ජනතාවටත් විශාල පහසුකම් සැලසෙනවා. විශ්ව විද්‍යාල සහ අනෙකුත් උසස් අධයාපන පහසුකම් ද අප කුලියාපිටිය ප්‍රදේශයේ ඇති කරනවා. ඒ ආකාරයට කුලියාපිටිය සංවර්ධනයේ මූලික වැඩසටහන අප දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.

    වයඹ සංවර්ධන ඇමැතිතුමා විසින් එම වැඩකටයුතු ඉදිරියට ගෙන යනවා. ඒ අතරම ගම්පෙරළිය වැඩසටහනත් අප ක්‍රියාත්මක කරනවා. 2015 දී ජනාධිපති ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තෝරා ගනිමින් අප මෙම ආණ්ඩුව ඇති කළේ ඔබේ ප්‍රදේශ සංවර්ධන කිරීමටයි. රට දියුණු කිරීමටයි. එම සංවර්ධනය අප දැන් ආරම්භ කර තිබෙනවා. ඒ පිළිබඳව සැකයක් ඇති කර ගත යුතු
    නැහැ. හෙට දිනයේ අප නිකවැරටිය ප්‍රදේශයට යාමට නියමිතයි. මෙවැනි විශාල සංවර්ධනයක් එම ප්‍රදේශයෙන් අප ආරම්භ කරනවා. මෙය අපේ රජය යටතේ සිදුවන විශාල සංවර්ධනයේ ආරම්භය පමණයි. අප කළ සංවර්ධනය කුමක්දැයි අද බොහෝ දෙනා විමසනවා. අප ඇති කළ සංවර්ධනයේ ප්‍රතිඵල ඔබට දැකීමට ටික කාලයක් ගත වනවා. ඉදිරි වසරේ සිට ඔබට එම
    සංවර්ධනයේ ප්‍රතිඵල ක්‍රමානුකූලව දැක ගැනීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා.

    මහා මාර්ග, නගර සංවර්ධනය, ජාතික පාසල්, වෙළෙඳ කලාප, සංචාරක දියුණුව ආදිය අප දැන් ආරම්භ කර තිබෙනවා. ඒ හරහා අපට ඉතා හොඳ අනාගතයක් නිර්මාණය වනවා. එම අනාගතය පිළිබඳව අප සැලසුම් සකස් කර තිබෙනවා. මේ ප්‍රදේශයේ සංවර්ධන වැඩකටයුතු ඉදිරියට ගෙන යාමට වයඹ සංවර්ධන අමාත්‍යතුමා කටයුතු කරනවා. එතුමා ඉතා දක්‍ෂ ඇමැතිවරයෙක් බව අප දන්නවා.

    කොළඹින් ආරම්භ වන දියුණුව හලාවත, කුලියාපිටිය දක්වා ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. එවිට කොළඹ, ගම්පහ, කුරුණෑගල දිස්ත්‍රික්ක වල නව ආර්ථික කලාපයක් ඇති කරනවා. කුරුණෑගලින් ආරම්භ වන මෙම සංවර්ධනය මහනුවර දක්වාම ගෙන යනවා. එවිට විශාල ආර්ථික කලාප සහ ආර්ථික නවීකරණයක් මේ ප්‍රදේශවල ඉදිරියේදී ඇති වෙනවා. ඒ සඳහා ඔබගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලෙස මම අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.


    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය නලින් බණ්ඩාර, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන්, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් සහ අමාත්‍යංශ ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya