අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ උන්නතියට ගතයුතු ඉදිරි පියවර රැසක් පිළිබඳ ජනපතිගේ අවධානය

    ජූලි 13, 2018

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ගේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    විදේශ විනිමය හරහා ජාතික ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබාදෙන මැණික් හා ස්වර්ණභාරණ ක්ෂේත‍්‍රයෙහි මතුව ඇති ගැටලු සහ එහි උන්නතියට ගතයතු ඉදිරි පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

    රත‍්‍රන් සඳහා පැනවූ 15% ක ආනයන බද්ධ ලිහිල් කිරීම, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නව ආදායම් බදු සඳහා යටත් වීම හේතුවෙන් මතුව ඇති අපහසුතා මෙන්ම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් සඳහා පතල් කැණීමට බලපත‍්‍ර නිකුත් කිරීමේ ගාස්තු අවම කර ගැනීම ආදි ගැටලු පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය.

    එමෙන්ම වගාකළ නොහැකි තත්වයේ කුඹුරු ඉඩම් පතල් කැණීම සඳහා යොදා ගැනීම හා පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා දැමීම සඳහා පතල් කාර්මිකයින් උනන්දු කරවන වැඩපිළිවෙලක අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

    පතල් කැණීම් හා බලපත‍්‍ර ලබාදීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් වූ අතර ප‍්‍රාදේශීය තත්වය සැලකිල්ලට ගෙන පතල්කරුවන්ට සහන ලබා දෙන ලෙසටත්, පතල් කැණීම් සිදුකිරීමෙන් අනතුරුව පතල් වසා නොදමන පතල්කරුවන්ගේ බලපත‍්‍ර අහෝසි කර නීතිමය පියවර ගැනීමටත් ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

    නීතිවිරෝධී පතල් කැණීම් සම්බන්ධයෙන් වන වැටලීම් වලදී ඇතිවන ගැටලු පිළිබඳව හා සංවිධානාත්මක මට්ටමෙන් ව්‍යාජ මැණික් අලෙවිකරන්නන් වැටලීම සඳහා විධිමත් යාන්ත‍්‍රණයක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ආර්. එච්. එස්. සමරතුංග, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති පේෂල ජයරත්න යන මහත්වරුන් සහ මැණික් හා ස්වර්ණාභරන ක්ෂේත‍්‍රයේ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya