මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

    ජූලි 07, 2018

    සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබඳ උද්ගත වූ ගැටලුව විසඳීමට එවන් ගැටලුවකදී මේ රටේ කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ මැදිහත්වීමක් සහ කැපවීමක් තමන් සිදු කළේ අධ්‍යාපනයේදී රටේ කිසිදු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් සමග  කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති හමුවකට එක්වෙමිනි.

    විවිධ දේශපාලන හස්තයන් මෙම ගැටලුව පිටුපස සිට දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළද සියලු දරුවන්ගේ අනාගතය පිළිබඳ නිසි අවධානය යොමු කරමින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

    සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ අනාගතය පිළිබඳ නොසිතා සිටියා නම් 2015 වසරේදීම එම ආයතනය වසා දමා ඇඟ බේරා ගැනීමට තමාට හැකියාව තිබුණු බව සඳහන් කළ ජනාධිපතිතුමා චෝදනා, අපහාස, සහ විරෝධතා මැද වසර 03 ක් පමණ අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් එම ගැටලුවට නිසි විසඳුමක් ලබාදීමට උත්සාහ ගත්තේ එම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව ද කියා සිටියේය.

    රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය සියලු මානව සහ භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරනවා සේම රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ද ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය රජයක් ලෙස පිළිගෙන තිබෙන බව පැවසු ජනාධිපතිතුමා බෝඞ්ලෑලිවලට සීමා නොවී පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය පිළිබඳව ද නිසි අවධානය යොමු කරමින් කටයුතු කරන බව සඳහන් කළේය.

    කොතලාවල වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කෙරුණු සයිටම් ආයතනයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එම වෛද්‍ය පීඨයේ ඉඩ පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉහළ නැංවීම පිළිබඳව විධිමත් පියවර ඉදිරියේදී ගන්නා බවයි.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනේදී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2018-07-06 වන දින – නෙළුම් පොකුණ රඟහල)

    මා ඉතාමත් සතුටු වෙන දවසක් අද. ඔබට දැනෙනවාට වඩා මට බොහෝ සෙයින් ඒ සතුට දැනෙනවා මේ ප‍්‍රශ්නය විසඳීම පිළිබඳව, පැහැදිලි ප‍්‍රතිඵලයක් අපිට ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන්. කතා කළ වෛද්‍ය ශිෂ්‍ය දරුවා ධම්ම පදයේ ගාථාවක් කිව්වා.

    “මනෝ පුබ්බං ගමා ධම්මා” මම එයට එකතු කරනවා,
    අප්පමාදෝ අමත පදං – පමාදෝ මච්චුනෝ පදං
    අප්පමත්තා න මී යන්ති – යේ පමත්තා යථා මතා
    අපි ඔබේ ප‍්‍රශ්නය ඔබේ ප‍්‍රශ්නයක් විදියට නෙවෙයි සැලකුවේ. මෙය අපේ ප‍්‍රශ්නයක් විදියට අපි සැලකුවේ. දරුවන් පිළිබඳව කතා කරන විට, රජයක් විදියට, පාලකයෙක් විදියට, භාරකරුවෙක් විදියට, වගකිව යුත්තෙක් විදියට කිසිම ආකාරයකින් විශ්වවිද්‍යාලයේ දරුවා, රාජ්‍ය අධ්‍යාපනය නොලබන දරුවා, හෝ සමාජ පන්තීන් වශයෙන් වෙන් කොට කතා කිරීමට පුළුවන්කමක් නැහැ. දෙමව්පියන් දරුවන්ට තිබෙන ආදරය රටේ පාලකයින්ටත් තිබිය යුතුයි. ජනාධිපතිවරයා වීමට පෙර අවුරුදු පහක් සෞඛ්‍ය ඇමතිවරයා වී සිටි නිසා මේ ප‍්‍රශ්නයේ අග මුල, දිග පළල මම හොඳින් දන්නවා. ප‍්‍රශ්නය නිර්මාණය වුණේ කොතනින්ද කියා ඔබ දන්නවා.

    වර්තමාන රජය බලයට පත්වුණාට පසුව නිදහස් අධ්‍යාපනය ලබන රජයේ විශ්වවිද්‍යාලවල දරුවෝ මහ පාරට බස්සලා, ඒ දරුවන් පිටුපස සිට මෙහෙයවපු දේශපාලන හස්තයන් රටට පෙන්වන්න බලපොරොත්තු වුණේ මේ ප‍්‍රශ්නය නිර්මාණය කෙරුවේ, අසීරු කෙරුවේ වර්තමාන රජයයි කියා. වෙනත් තැනකින් ඇතිවූ ප‍්‍රශ්නය විසඳීමේ වගකීම අප පිටට ආවා. සයිටම් ආයතනය වසා දමනවා නම් මේ දරුවන් පිළිබඳව කිසිම සැලකිල්ලක් නැතුව ගෙදර යවනවා නම් මේ දරුවන්ගේ අනාගතය ගැන නොසිතා සිටියා නම් 2015 විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොළඹට ඇවිල්ලා පළවෙනි පෙළපාලිය යන විටම මට තීරණයක් ගන්නට තිබුණා සයිටම් ආයතනය වහනවා පෙළපාලි නවත්වමු කියලා.

    නමුත් අවුරුදු තුනක් කොළඹ නගරයේ වරින් වර සමහර සතියක දෙසැරයක් තුන් සැරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොළඹ නගරයේ මහ පාරවල් පිරෙව්වා. ඔබට තිබෙන හිතේ වේදනා කොතෙක්ද? නමුත් ඊට වඩා ඔබ වෙනුවෙන් මේ රටේ වැඩිපුරම නින්දා අපහාස වින්දේ මමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොළඹ නගරයේ පාරවල් වසා පෙළපාලි යන විට එයින් කරදරයට පත්වූයේ පීඩාවට පත්වූයේ මගී ජනතාවයි. ප‍්‍රශ්න පිළිබඳව අවබෝධයෙන් අඩු ඇතැම් පුද්ගලයින් විශේෂයෙන්ම වාහන රියදුරුන් මම දන්නවා අපිට මොන භාෂාවෙන්ද කතා කරේ කියලා. රාජ්‍ය තොරතුරු සේවාවන් මට ඇතැම් විට වාර්තා කළා අපට කරන අසීමිත පහත් නින්දාවන් පිළිබඳව. විශේෂයෙන්ම මට. නමුත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොළඹට ඇවිත් මහ පාරවල් වසන ආරංචිය ලැබුණු හැමවිටම මම දුරකථනය ගෙන පොලිස්පතිට කිව්වේ, ළමයි අද එනවා නේද කිසිම ආයුධයක් ගෙනියන්න එපා, තුවක්කුවක් පත්තු කරන්න එපා. කිසිම තැනක එවැනි සිද්ධියකට ඉඩ තියන්න එපා. ගැටුම් ඇති වන අකාරයට කටයුතු කරනවා නම් ඒවාට මුහුණ දෙන්න. බැරි නම් පසුබසින්න කියා.

    රාජ්‍ය දේපළ වෙනත් පෞද්ගලික දේපළවලට අලාභ හානි කරනවා නම් නීත්‍යානුකූලව ඒවාට කටයුතු කරමු, නමුත් කිසිම පෙළපාලි යන ශිෂ්‍යයෙකුගේ ජීවිතයට හෝ වෙනත් ආකාරයෙන් ඔවුන්ට හිරහැරයක් වන විදියට කටයුතු කරන්න එපා කියායි මම කිව්වේ. මේ ප‍්‍රශ්නය විසදන්න වැඩිම සාකච්ඡා වාර ගණනක් කැඳවූ පුද්ගලයා මමයි. අදාළ ඇමතිවරුන්ට වඩා පසුගිය අවුරුදු තුනේ. ඔබේ දෙමව්පියන් මම සාකච්ඡාවලට කැඳවා තිබෙනවා. සයිටම් ආයතනයේ ආචාර්යවරු මම සාකච්ඡාවලට කැඳවා තිබෙනවා. මෙහි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මම සකාච්ඡාවලට කැඳවා තිබෙනවා. සයිටම් කළමනාකාරිත්වය පාලන අධිකාරිය මම සාකච්ඡුාවලට කැඳවා තිබෙනවා. කාටවත්ම ඇහුම්කන් දෙන්නේ නැති බොහෝ කලබලකාරී විදියට හැසිරෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය දරුවන්ව ගෙන්වා මම කතා කළා. සමහර අය මට ඒකට දොස් කිව්වා. ඒගොල්ලෝ එක්ක කතා කරලා ප‍්‍රශ්න විසඳන්න පුළුවන්ද ඇහුවා. අන්තරේ ශිෂ්‍යයෝ ගෙන්වා මම කතා කරන විට බොහෝ වේලාවක් ඔවුන් අසන ප‍්‍රශ්නවලට මම පිළිතුරු දී මම අසන ප‍්‍රශ්නවලට ඒ දරුවෝ පිළිතුරු දුන්නා. මම ඔවුන්ට කිව්වා, දරුවනේ, මේ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන, උසස් අධ්‍යාපන ආයතන ලෝකයේ සෑම රටකම තිබෙනවා නේද කියලා. විශේෂයෙන් දියුණු සංවර්ධිත රටවල්වල තිබෙනවා නේද කියලා. අපේ රටේත් රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ඒ ප‍්‍රමිතියට ගත්විට හරි නේද ඒ සඳහා නේද අපි උත්සාහ කළ යුත්තේ කියා. ඒ වෙලාවේ ඒ දරුවන් පිළිතුරු දුන්නා, ජනාධිපතිතුමා ඒ විශ්වවිද්‍යාල තිබෙන ලෝකයේ හැම රටකම දැන් පෙළපාලි, උද්ඝෝෂණ ඒවා වහන්න කියලා. මම එදා කල්පනා කළා අනේ අපේ රට භාරගන්න සිටින දරුවන්ගේ ඔළුවලට මේ දේවල් දාලා තිබෙන මිනිස්සු කව්ද කියලා. ඉතා සරල, බොළ`ද, බොහෝ අපැහැදිළි, පුදුමාකාර උත්තර තමයි ඇතැම් සාකච්ඡාවලදි ලැබුණේ.

    අන්තරේ ශිෂ්‍යයෝ කැදෙව්වා කියලා අපේම ආණ්ඩුවේ සමහර අය මට දොස් කිව්වා. නමුත් මගේ ප‍්‍රතිපත්තිය හැමදේටම සාකච්ඡාවයි. මේ රටේ රාජ්‍ය නායකයෙක් මේ වගේ අර්බුදයක් විසඳන්න මේ වගේ සාකච්ඡා ගණනක මූලාසනය අරගෙන නැහැ කියලා. ඔවුන් එක්කෝ ප‍්‍රශ්නය වෙන කෙනෙකුට භාරදෙනවා, නැත්නම් එක සැරයක්, දෙසැරයක් සාකච්ඡා කරලා තමන් නිදහස් වෙනවා, නැත්නම් එතනින් වැඬේ ඉවර කර ගන්නවා.

    නමුත් අපේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීම, රජයේ පාසල්, රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කිරීම ඒවට අවශ්‍ය පූර්ණ භෞතික සම්පත්, මානව සම්පත් ලබාදීම, අධිතාක්ෂණික ලෝකයට, තරගකාරි සමාජයට දරුවා සකස් කිරීම සහ ඔවුන් ජාතියේ දරුවන් පමණක් නොවෙයි විශ්වය ජය ගන්නා විශිෂ්ටයින් බවට පත්කිරීම. එහිදී අධ්‍යාපනයට කිසිවිටෙකත් හරස්වීම් තියෙන්න බැහැ. කොටුවීම් තියෙන්න බැහැ. දරුවෙකුට තමන් කැමති විදියට අධ්‍යාපනය ලබන්න සුදුසු විදියට එම ස්ථාන තියෙන්න ඕන.

    විශේෂයෙන් මම ඇමතිවරයෙක් කාලේ පිටරටවල ගියහම විශේෂයෙන් අපේ දරුවෝ ඉගෙන ගන්න විශ්වවිද්‍යාලවලට යනවා. මම චීනයේ විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා තිබෙනවා අපේ ලාංකීය දරුවෝ බලන්න, බංග්ලාදේශයේ ගිහින් තිබෙනවා, යුරෝපා රටවල විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා අපේ දරුවෝ මුණගැහිලා තිබෙනවා, ඔවුන්ට කිසි කරදයක් නැහැ. මම හිතන්නේ රාජ්‍ය නායකයාටවත්, ඇමතිවරයාටවත් විශ්වවිද්‍යාලයට යන්න බැරි ලෝකයේ එකම රට අපේ රටයි. රටේ රාජ්‍ය නායකයාට, ඇමතිවරුන්ට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒවායේ තිබෙන අඩුපාඩු ටික බලන්න, දරුවෝ එක්ක කතා කරන්න, පහසුකම් මොනවද කියල බලන්න, පංතිකාමරයක් ඇතුලේ ඒ අයගේ දුක්ගැනවිලි සාකච්ඡා කරන්න තියෙනවනම් ඔය පාරට බහින දරුවන්ගේ ප‍්‍රශ්න මීට කොච්චර කාලයකට පෙර ද මේ රටේ විසඳිලා තියෙන්නේ, නමුත් ඒවට ඉඩ දෙන්නේ නැහැ.

    රුසියාවට මම ගිය සෑම අවස්ථාවකදීම ඇමතිවරයෙක් කාලේ විශේෂයෙන්ම රුසියාවේ අධ්‍යාපනය ලබන අපේ දරුවෝ, වෛද්‍ය ශිෂ්‍යයෝ මාව හමුවෙලා තිබෙනවා. ඒ වගේ උසස් අධ්‍යාපනය ලබන ලංකාවේ දරුවන් අපේ රටේත් වගේම විදේශීය රටවලත් හමුවෙලා ඔවුන්ගේ දුක්ගැනවිලිවලට මා සවන් දී තියෙනවා.

    ඒ නිසා අපි නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරනවා වගේම මේ රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ශක්තිමත් කිරීමේ වගකීම රජයක් විදියට, ප‍්‍රතිපත්තියක් විදියට පිළිගෙන තිබෙනවා, පිළිගන්නවා. ඉදිරියටත් එහෙමයි. ප‍්‍රමිතිය, ගුණාත්මකභාවය, තරගකාරිත්වයට අවශ්‍ය ඒ සියලු පහසුකම්, වරප‍්‍රසාද රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතනවල අංග සම්පූර්ණව තිබිය යුතුයි. බෝඞ් ලෑලි නෙවේ. නම නෙවේ. ඒ නිසා ප‍්‍රධාන වශයෙන්ම ඒ ප‍්‍රතිපත්තිය තුළ පිහිටලා කටයුතු කරන්න ඒ ගත්ත උත්සාහය තමයි මේ ප‍්‍රශ්නය විසඳන්න අවුරුදු 03ක් අපට ප‍්‍රමාද වුණේ.

    කෙසේ වෙතත් මේ ප‍්‍රශ්නය විසඳිලා තිබෙනවා. ඒ අවුරුදු ගණනාවක සාකච්ඡා, තීන්දු තීරණ ගැනීමට දායක වූ සියලු රජයේ මැති ඇමතිවරුන්ට, නිලධාරින්ට මම ස්තූතිවන්ත වෙනවා.

    ඒ නිසා දරුවනේ ඔබට තිබූ දුක් කරදර කාලයක් අවසන් වුණා කියලයි මම විශ්වාස කරන්නේ, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඔබට ඒ තිබෙන ඉඩකඩ, පහසුකම් ඒවා පිළිබඳ අවශ්‍ය විධිමත් පියවර අරගෙන ඒ තිබෙන ප‍්‍රශ්න විසඳාගෙන ඔබ සැබෑ ලෙසම මේ රටේ වගේම ලෝකයේ වාසනාවන්ත වූ දරුවන් බවට පත්කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.
    මට මතකයි ගිය අවුරුද්දේ සාකච්ඡාවකදී, මේ දරුවන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු කරලා විභාගයට මුහුණදීලා එළියට එනකොට දෙන සහතිකය පිළිබඳව සාකච්ඡා කළා. මම ඒ සාකච්ඡාවට එනකොට තිබුණා ඒ සහතිකය ලියන අන්දම සහ හදන හැටි විස්තර කරලා. එහි තිබුණා උපාධිය දාලා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය (සයිටම්) කියලා. මම අහුවා ඇයි ඔය සයිටම් කියලා තියෙන්නේ මේ ළමයි කොතලාවල වෛද්‍ය පීඨයෙනේ, එහෙම උපාධි සහතිකේ ගහන්න ඕනේ නැහැ, ඒක ඉවත් කරන්න කියලා. ඉතින් එතනදිත් බොහෝ වාද විවාද ඇති වුණා මට මතකයි. නමුත් මම ඒ ගැටලුවත් විසඳුවා.

    ඒ නිසා මේ රටේ හතළිස් දෙලක්ෂයක් පාසල් දරුවෝ, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ලක්ෂයකට ආසන්න දරුවෝ ඒ සියලුදෙනාගේ, දෙමව්පියන්ගේ ප‍්‍රාර්ථනා ඉෂ්ට කරන්න රජයක් විදියට සැමවිටම කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් ඔබ සියලුදෙනාට වාසනාවන්ත වූ අනාගතයක් ප‍්‍රාර්ථනා කරනවා.

    ස්තූතියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya