අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගැටළු විසදා ගනිමින් රටේ සංවර්ධනය ආරම්භ කළා- අග්‍රාමාත්‍ය

    ජූනි 23, 2018

    ගැටළු විසදා ගනිමින් රටේ සංවර්ධනය දැන් අපි ආරම්භ කර තිබෙනවා.මීට පෙර සිටි පාලකයන් විවේචන එල්ල කලත් අප රට භාර ගත්තේ ඔවුන්ට රට පාලනය කිරීමට නොහැකි වුණු නිසයි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පව්ස්යි.

    වේරැස් ගඟ වැසි ජල අපවහන කළමණාකරණ හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ බොරලැස්ගමුව ප්‍රදේශයේ ඉදිකරන ලද කෙළිමඬල ළමා උද්‍යානය සහ ඇවිදින මංතීරුව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.

    අද වේරැස්ගඟ අසල මෙම ළමා උද්‍යානය සහ ඇවිදින මංතීරුව විවෘත කළා. මෙම ව්‍යාපෘතිය නිසා මේ ප්‍රදේශයේ වැඩිහිටි, තරුණ සහ කුඩා දරුවන් යන සියලූ දෙනාටම විවේකය විදීමේ අවස්ථාව සැලසී තිබෙනවා. විශේෂ උපකාර අවශ්‍ය පුද්ගලයන්ටත් ඒ සඳහා වුවමනා පහසුකම් මෙහිදී සලසා දී තිබෙනවා. වර්තමානයේ නාගරික ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් දෙස බැලු විට මෙවැනි ව්‍යාපෘතිවල අත්‍යාවශ්‍යභාවය හොදින් පෙනී යනවා.

    උදෑසන හෝ රාත්‍රි කාලයේ තමාට නිදහස ඇති අවස්ථාවක මෙහි පැමිණ ව්‍යායාම කිරීමට ජනතාවට දැන් හැකියාව ලැබෙනවා. මීට වසර 40කට පමණ පෙර අපි පළමුවෙන්ම කැස්බෑව ප්‍රදේශයේ දේශපාලනය කරන විට මේ ප්‍රදේශ ඉතා ග්‍රාමීය මට්ටමකයි පැවතුනේ. නමුත් වර්තමානයේ එම තත්වය වෙනස් වී තිබෙනවා. ජනගහනය වර්ධනය වී තිබෙනවා. එම නිසා එම සංවර්ධනයට සමගාමීව මෙම පහසුකම් ජනතාවට ලබාදීමට විෂයභාර ඇමතිතුමාත් අමාත්‍යාංශයත් වර්තමානයේ කටයුතු කරමින් සිටිනවා.


    ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකයක් කරා යොමු කිරීමේ අවශ්‍යතාවය අපට අවබෝධ වී තිබෙනවා. එවිට ජනතාව සතුව තිබෙන මුදල් ප්‍රමානය වැඩිවෙනවා. අපනයන ආර්ථිකයක් හරහා රටේ ආදායම දියුණු වන අතර ජනතාව අතට වැඩි වශයෙන් මුදල් ලැබෙනවා. එවිට රටේ මධ්‍යම පන්තිය තවත් ශක්තිමත් වෙනවා. වැඩ කරන ජනතාවත්, මධ්‍යම පන්තියත් ශක්තිමත් වීමට නම් නාගරීකරණය සීඝ්‍රයෙන් සිදුකළ යුතුයි.

    අනාගතයේදී අප මෙම වැඩකටයුතු තවත් ඉක්මන් කරනවා. කිසි ලෙසකින්වත් එම වැඩකටයුතු අඩපන කිරීමට අපේ රජය කටයුතු කරන්නේ නෑ. අප බලයට පත්වන විට ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයකට අපේ රට පත්ව තිබුණා. ඒ කාලයේ ණය මුදලවත් ණය වාරිකයවත් ගෙවා ගැනීමට රටට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් එම තත්වය වසර 2 – 3 ක් තුල කළමණාකරණය කර ගැනීමට අපේ රජයට හැකිවුණා.

    එය ලෙහෙසි කටයුත්තක් වූයේ නැහැ. ණය ගෙවීම සඳහා බඳු වැඩිකිරීම් ආදිය සිදුකරන විට ආණ්ඩුවට දෝෂාරෝපණ එල්ල වුණා. මෙවරත් බදු අයකිරීම සම්බන්ධයෙන් විවිධ ගැටළු ඇතිවී තිබෙන බව අපිට පෙනී යනවා. ඒවායේ යම් අසාධාරණ තත්වයක් තිබෙනවා නම් සොයා බලා කටයුතු කරන ලෙස අපි මුදල් ඇමතිතුමාට උපදෙස් ලබාදී තිබෙනවා. අවබෝධයක් නොමැති සුළු පිරිසක් කොතරම් විවේචන සිදු කළත් ණය ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට රජයට සිදුව තිබෙනවා.


    යුද්ධය අවසන් කරන තුරු අප ණය ලබාගෙන තිබුණේ රුපියල්වලින්. එම නිසා නැවත ගෙවීමේදී ගැටළුවක් ඇතිවුනේ නැහැ. නමුත් යුද්ධය අවසන් වීමෙන් පසුව ඩොලර් වලින් ණය ගැනීමට අපේ රට කටයුතු කළා. එම නිසා ඩොලරයේ මිල ඉහල යන විට රටේ ණය ප්‍රමාණය ද ඉහල යාමේ තත්වයක් දැන් ඇතිවී තිබෙනවා. අපට තිබෙන විශාලම ගැටලූව එයයි. වර්තමානයේ රටේ ණය ප්‍රමාණය 2009 වසරේ තිබූ ණය ප්‍රමාණය මෙන් තුන් ගුණයකින් වැඩිවී තිබෙනවා. මෙම තත්වය අවබෝධ කර නොගෙන අපට ඉදිරියට යාමට නොහැකියි. රටේ අපනයනය විශාල ලෙස පිරිහී තිබෙනවා.

    එම නිසා මෙම කාරණාවලට මූලික වශයෙන් විසදුම් ලබා නොදී රට දියුණු කිරීමට නොහැකියි. එම නිසා වසර දෙකක් යනතුරු මේ රජය එම කරුණු සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කළා. ඒවගේම තවත් අවුරුද්දක පමණ කාලයක් ගංවතුර, කන්න හතරක නියඟය ආදි ස්වභාවික විපත්වලට මුහුණ දීමට සිදුවුණා. මේ සියලූ අර්බූදවලට මුහුණ දෙමින් අප ඉදිරියට පැමිණ තිබෙනවා. වර්තමානයේ රටේ අපනයනයත්, විදේශ ආයෝජන ප්‍රමාණයත් වැඩිවී තිබෙනවා.

    නමුත් මම හෝ අමාත්‍යතුමා එයින් සෑහීමකට පත්වන්නේ නැති බව පැවසිය යුතුයි. අප කටයුතු කළ යුත්තේ එම ප්‍රමාණය හැකි තරම් ඉහල නංවා ගැනීමටයි. භාණ්ඩ නිෂ්පාදන හා සේවා අංශය දියුණු කරමින් අපනයන කටයුතු සිදුකිරීම අපේ බලාපොරොත්තුවයි. එසේ නොමැතිව මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යා නොහැකියි.


    මීට පෙර සිටි පාලකයන් විවේචන එල්ල කලත් අප රට භාර ගත්තේ ඔවුන්ට රට පාලනය කිරීමට නොහැකි වුණු නිසයි. එවැනි ශක්තියක් තිබුණා නම් ඔවුන් රටේ පාලනය අතහරින්නේ නැහැ. අප ජයග්‍රහණය කරමින් රටේ පාලන බලය ලබා ගත්තා. අපේ පාලනය තුල යම් යම් අඩුපාඩු දක්නට ලැබුණත් ඒවා නිරාකරණය කර ගනිමින් අප ඉදිරියට ගමන් කළ යුතුයි. 2017,2018,2019 වර්ෂයන්වල විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙනවා. එම වර්ෂ තුන පිළිබදව සලකා බලන විට විශාලම ණය මුදලක් ගෙවීමට සිදුව තිබෙන්නේ 2018 වර්ෂයේදීයි. එම ණය මුදලත් ගෙවමින් මෙම තත්වයත් පාලනය කර ගෙන ඉදිරියට යාමේ හැකියාව දැන් ලැබී තිබෙනවා. එම ණය ගෙවීමේ වැඩ කටයුතු ඉටු කරන අතරම මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ද ක්‍රියාත්මක කිරීමට අපේ රජය කටයුතු කරමින් සිටිනවා.


    අපේ ආණ්ඩුවේ ප්‍රධානම අරමුණක් වන්නේ මෙම අවට ප්‍රදේශය සම්පූර්ණ සංවර්ධනයකට ලක්කිරීමයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රටේ අගනුවර ලෙස නම් කිරීමට පෙර රටේ නාගරික දියුණුව සීමාවී තිබුණේ කොළඹට සහ දෙහිවල ගල්කිස්ස ප්‍රදේශවලට පමණයි. මොරටුවේත් සුළු ප්‍රදේශයක් නාගරීකරණය ලක්වී තිබුණත් අනෙක් ප්‍රදේශ පැවතුනේ ග්‍රාමීය මට්ටමකයි. නමුත් කෝට්ටේ ප්‍රදේශය අගනුවර ලෙස දියුණු වන විට අවිස්සාවේල්ල හැර බස්නාහිර පළාතේ අනෙක් සියලූම ප්‍රදේශ විශාල නාගරීකරණයකට ලක්වුණා. කැළණි ගඟෙන් එගොඩ බියගම, මහර, මිනුවන්ගොඩ, ආදි ප්‍රදේශ දක්වාත් විශාල නාගරීකරණයක් ඇතිවුණා. මෙම සියලුම ප්‍රදේශ
    සැලැස්මකට අනුව දියුණු කර විශාල සංවර්ධනයක් උදාකිරීම සඳහා නව අමාත්‍යාංශයක් ඇති කරමින් එය පාඨලි චම්පික ඇමතිතුමාට භාරදීමට අපි කටයුතු කළා. එතුමා එම වැඩකටයුත්ත භාර ගෙන මේ ප්‍රදේශවල දියුණුව ඇතිකරමින් තිබෙනවා.


    කොළඹ නගරයේ සුළු ප්‍රදේශයක් දියුණු කිරීමෙන් කොළඹදියුණු යැයි පැවසිය නොහැකියි. කොළඹනගරය දියුණු කිරීමට නම් උතුරු කොළඹ, මැද කොළඹ ප්‍රදේශයන් අනිවාර්යෙන් දියුණු කළ යුතුයි. නගරයේ ප්‍රදේශ කිහිපයක් පමණක් සංවර්ධනය කිරීමෙන් සමස්ත කොළඹනගරය දියුණු වන්නේ නැහැ. අප කොළඹ නගරයේ සියළුම කොට්ටාශයන් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම කොළඹනගරයේ අඩු ආදායම්ලාභීන්ට තට්ටු නිවාස ලබාදීමට අප කටයුතු කරනවා. මෙම ප්‍රදේශයත්, කඩුවෙල ඇතුළු අවට ප්‍රදේශවලටත් අප සංවර්ධනය ගෙන යන්නේ සැලසුමක් අනුවයි. අප නාගරික සංවර්ධන අධිකාරිය භාර ගන්නා කාලයේ එහි තිබුණේ ණය පමණයි. අවුරුදු දෙකක් පමණ එම ණය ගෙවීමට ගත වුණා. පෙර පැවති පාලනය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය ගොඩනැගිලි ඉදිකර තිබුණේ ණය පදනම මතයි. නමුත් එම ණය ගෙවීමට ඔවුන්ට මුදල් තිබුණේ නැහැ.

    එම නිසා ජාත්‍යන්තරයට ණය ගෙවන අතරම, මෙම ණය මුදල් පියවීමටත් මුදල් අමාත්‍යාංශයට සිදු වුණා. සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේදීත් අපට විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවුණා. එම ගැටළු විසදා ගනිමින් රටේ සංවර්ධනය දැන් අපි ආරම්භ කර තිබෙනවා.

    මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාම සම්බන්ධයෙන් අප අමාත්‍යතුමාට ස්තුතිවන්ත විය යුතුයි. මෙම ළමා උද්‍යානය සහ ඇවිදින මංතීරුව ඉදිකිරීමේදි විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ටද පහසුකම් සැලසෙන ආකාරයෙන් ඉදිකිරීම් කටයුතු සිදුකර තිබෙනවා. එවැනි හොඳ ආදර්ශයක් රටට ලබාදීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. ප්‍රශංසා කරනවා. ඉඩම් සංවර්ධන සංස්ථාවේ සභාපතිතුමාටත් එම ආයතනයටත් මෙම වැඩකටයුතු වෙනුවෙන් මම අවසාන වශයෙන් ස්තුතිය පුද කර සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya