නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීතොටමුල්ල විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් උපදෙස්

    අප්‍රේල් 17, 2017

    මීතොටමුල්ල කසල කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් වූ ජනතාවට උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙසත්, එම කටයුතුවලදී කිසිදු අවස්ථාවක මුදල් පිළිබඳ ගැටලුවක් ඇති කර නොගන්නා ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    විපතට පත් ජනතාවට සහන සැළසිම පිළිබඳ ඊයේ (16) ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

     

    කුණු කන්ද එම ස්ථානයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ප‍්‍රමුඛ අවධානයට යොමු විය.

     

    එමෙන්ම තවදුරටත් අවදානමට ලක්ව ඇති ජනතාව එම ස්ථානවලින් ඉවත් කරමින් ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමූ කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී උපදෙස් දුන්නේය.

     

    එම කටයුතු සඳහා මීතොටමුල්ල වී අලෙවි මණ්ඩලයේ ගබඩා 03 ක් තාවකාලිකව යොදා ගැනීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර එහිදී ජනාධිපතිතුමා නියෝග කරනු ලැබුවේ එම ජනතාවට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව එම යොමු කිරීම් සිදු කරන ලෙසය.

    එම ජනතාවගේ නිවාසවල ඇති භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳව ද අවධානය යොමු වූ අතර එම බඩු බාහිරාදිය පිළිබඳ නිසි තක්සේරුවක් ලබා ගැනීමටත්, ඒ සඳහා ආරක්ෂාව සැපයීමට ක‍්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමටත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    ආපදාවට ලක්වූ පවුල් සහ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර විපතට පත් පවුල් සංඛ්‍යාව සහ හානි වූ දේපළ පිළිබඳ නිසි ගණනයක් හා තක්සේරුවක් සිදු කොට ඒ පිළිබඳ වාර්තාව දින 05 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

     

    සෙවීමේ හා මුදා ගැනීමේ ක්‍රින්විතයේ ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර ජනතාවට සහන සැළසිමට සහ නැවත පදිංචි කිරීම් සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරුණි.

     

    එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙනු ලැබූවේ ජනතාවගේ චෝදනාවට ලක් නොවන අයුරින් එම කටයුතු සිදු කළ යුතු බවයි.


     
    එමෙන්ම ආපදාවෙන් මරණයට පත්වූ අයගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක්වූ අතර එම කටයුතු ඊයේ දිනයේ සිට සිදුවන අතර ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සොයා බලා ඉටු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

     

    මෙම රැස්වීම දින තුනකට වරක් කැඳවීමට ද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් අතර ඒ අනුව ලබන බදාදා පෙ.ව 8.30 ට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ දී නැවත සාකච්ඡාව පැවැත්වෙනු ඇත.

     

    අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා,  සුසිල් පේ‍්‍රමජයන්ත, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. එම් මරික්කාර්, ප‍්‍රසන්න සෝලංගආරච්චි යන මහත්වරුන් ද පොලිස්පති, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානින් සහ රාජ්‍ය නිළධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya