අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා නොමැති උපාධිධාරින්ගේ ගැටලුවට කඩිනම් විසඳුම්

    අප්‍රේල් 02, 2017

    රැකියා නොමැති උපාධිධාරින්ගේ ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

    නිසි ඇගයීමක්, සැළැස්මක් සහ විධිමත් භාවයකින් තොරව පසුගිය කාලයේ උපාධිධාරින්ට රැකියා ලබාදීම හේතුවෙන් රැකියාවල නිරත උපාධිධාරින් ද අද ගැටලූ රැසකට මුහුණ දී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා වත්මන් රජය යටතේ නිසි ක‍්‍රමවේදයක් ඔස්සේ උපාධිධාරින්ට රැකියා ලබාදීමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ති‍්‍රකුණාමලය මැක්හෙයිෂර් කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන ,ජාතික යොවුන් පුරය 2017, උළෙලේ අද දින සමාප්ති උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස එක් වෙමිනි.

    "අනාගතය ඇරඹුනා" තේමාව යටතේ තරුණ තරුණියන් හයදහසකගේ පමණ සහභාගිත්වයෙන් යොවුන් පුරය පසුගිය 29 වනදා ති‍්‍රකුණාමලයේ දී ආරම්භ කෙරිණි.

    අද දින සමාප්ති උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රටේ තාරුණ්‍යයට සුබදායක අනාගතයක් ගොඩනඟාදීමේ වගකීම හා රජය බැඳී සිටින බවයි. කුමන අන්දමේ චෝදනා විවේචන එල්ල වුවද රටට අවශ්‍ය සංවර්ධනය සමඟ රජයේ වැඩපිළිවෙළ ඉදිරියට කි‍්‍රයාත්මක කරන බව පැවසූ ජනාධිපතිතුමා එහිදී තාරුණ්‍යයට නිසි වටිනාකමක් ලබාදෙමින් තාරුණ්‍යයේ ශක්තිය, ජවය සහ නිර්මාණශිලිත්වය ජාතියේ අනාගතය සඳහා භාවිතා කරන බවද ප‍්‍රකාශ කළේය.

    යළිත් මේ රට තුළ තරුණ කැරළිවලට ඉඩ නොතැබීම පාලකයින්ගේ වගකීම බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා තාරුණ්‍යයට අවශ්‍ය නිසි සමාජ පිළිගැනීම සහ ඔවුන් යා යුතු ගමන් මග සකස් කර දීමේ වගකීම රජය ඉටුකරන බව ද ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම රටේ තරුණ තරුණියන් රැකියා ලබාගැනීමට දේශපාලනඥයින් පසුපස ගිය යුගය නිමාකර සිය දැනුම, කුසලතා සහ නිර්මාණශීලිත්වය සමඟ ඔවුන්ට සමාජයේ දොරටු විවෘත විය යුතු බව පැවසූ ජනාධිපතිතුමා තාරුණ්‍යයේ දැනුම, ජවය සහ ශක්තිය නිසි කලට වේලාවට රට වෙනුවෙන් ආයෝජනය කිරීම අත්‍යාවශ්‍ය බව ද කියා සිටියේය.
    අද රට මුහුණදී සිටින අභියෝගයක් වන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් සොයමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩි දායකත්වයක් ලබාදිය හැක්කේ තරුණ පරපුරට බව පැවසූ ජනාධිපතිතුමා දේශීය නිෂ්පාදන කි‍්‍රයාවලිය ශක්තිමත් කරමින් හා අපනයන වෙළෙඳපොළ ඉහළ නංවමින් ජාතික ආර්ථික ඉලක්ක ජය ගැනීමට  තරුණ සම්පත භාවිතා කිරීමේ සැළසුම් වඩා කාර්යක්ෂමව සහ විධිමත්ව ඉදිරියේදී කි‍්‍රයාත්මක කරන බවද කියා සිටියේය.
    යොවුන් පුරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් තරුණ කඳවුරු ද නිරික්ෂණය කළ ජනාධිපතිතුමා තරුණ තරුණියන් සමඟ සුහද කතා බහක නිරත විය.

    යොවුන් පුරයේ හොඳම දිස්ති‍්‍රක්ක වෙනුවෙන් ත්‍යාග ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන රවී කරුණානායක, සජිත් පේ‍්‍රමදාස, දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ්, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya