අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ ආයෝජන හරහා මෙරට විශාල දියුණුවක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා

    මාර්තු 31, 2017

    නැති වී ගිය දියුණුව නැවත රට තුළ ඇති කිරීමට කාලය එළැඹතිබෙනවා. නමුත් ඊට පෙර අප ණය බරින් නිදහස් විය යුතුයි. ඔබේ මහජන මුදල් හරහා ඇති වන ආදායම ණය පියවීමට යොදවන අතර විදේශ ආයෝජන හරහා මෙරට විශාල දියුණුවක් ඇති කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ගොඩකවෙල, රංවල, කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.


    රංවල ප්‍රදේශයට රත්තරන් නැටුම් කණ්ඩායමක් තිබෙන බව මම මුලින්ම කියන්න කැමතියි. මට රංවල හුරුපුරුදු ප්‍රදේශයක්. ඇල්ෆ්‍රඩ් කුලරත්න මැතිතුමා මම හොදින් හඳුනා ගත්තේ 1973 – 74 කාලයේ දී අතුරු මැතිවරණ සඳහා අප එක කණ්ඩායමක් ලෙස කටයුතු කරන විටදීයි. කුලරත්න මැතිතුමා 1965 – 70 කාලයේ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ආණ්ඩුවේත්, 1977 න් පසුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේත් හොදින් කටයුතු කළ දේශපාලනඥයෙක්.

     

    එකල පඬුවස්නුවර පැවැති වප්මඟුල් උත්සවයකට මමත්, කුලරත්න මැතිතුමාත්, නන්ද මැතිව් ඇමැතිතුමා සහ හිටපු ආණ්ඩුකාරතුමාත් සහභාගි වූ අයුරු මට මතකයි. ඒ කාලයේ අප කටයුතු කළේ එක කණ්ඩායමක් ලෙසයි. අපි මෙම සුන්දර ග්‍රාමීය ප්‍රාදේශයට පැමිණ කුලරත්න මහතාගේ නිවසින් නිවී සැනසිල්ලේ තේ කෝප්පයක් බීමට පුරුදුව සිටියා. මම අධ්‍යාපන ඇමැතිවරයා ලෙස එදා රංවල ආසනයේ පැවැති උත්සවයට සහභාගි වීමෙන් පසුව උදාගම්මාන ව්‍යාපෘතියටත් අලූත් සංගීතයක් ලැබුණු බව මට මතකයි.

     

    ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේ දී අධික වර්ෂාව මධ්‍යයේත් මම වැලිගෙපොල ප්‍රදේශයට පැමිණියා. එහිදීත් මම මේ රංවල ප්‍රදේශය පිළිබඳව මතක් කළා. කුලරත්න මහතාගෙන් පසුව එදා අපට තේ පැන්වලින් සංග්‍රහ කළ කුලරත්න මැතිනිය මෙම නිවස ළමා නිවාසයට පරිත්‍යාග කළා. ඉන් අවුරුදු 25 කට පසුව මට නැවත මෙහි පැමිණීමට අවස්ථාව ලැබී තිබෙනවා. එම නිසා මම පළමුව මෙම ළමා නිවාසයේ පාලක මණ්ඩලයට ස්තුතිය පළ කරනවා.

     

    පසුගිය වසරේ දී මෙම ළමා නිවාසයේ ශිෂ්‍යාවක් විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබාගත් බව අපේ පළාත් සභා ඇමැතිතුමා මට පැවසුවා. එවැනි දක්‍ෂ ශිෂ්‍යාවන් සහ රැකියා කරන තරුණියන් ද මෙහි සිටිනවා. එවැනි ස්ථානයක් ඉතා හොදින් පාලනය කරන මෙම පාලක මණ්ඩලය මේ පළාතට ගෞරවයක් බව කිව යුතුයි. ශ්‍රී ලංකාවේ ඇතැම් ළමා නිවාසවල විවිධ ප්‍රශ්න ඇති වුණත් මෙම ළමා නිවාසයේ එවැනි ගැටලූවක් ඇති වී නැහැ. මා එය අගය කරන අතර එම තත්ත්වය ඉදිරියටත් ආරක්‍ෂා කර ගනීවි යැයි මාගේ බලාපොරොත්තුයි.

     

    සෝමා ජයවර්ධන මැතිතුමා මගෙන් එක් ඉල්ලීමක් කළා. ඒ මෙම ළමා නිවාසයට ගොඩනැගිල්ලක් ලබා දෙන ලෙසයි. ගොඩනැගිල්ලක අවශ්‍යතාවය පිළිබදව මම ද කල්පනා කළා. හේෂා මන්ත්‍රීතුමා මට ඒ පිළිබද අවශ්‍ය තොරතුරු පාර්ලිමේන්තුවේ දී ලබා දෙන්න. ඒ අනුව කටයුතු කරමින් එම ගොඩනැගිල්ල ලබා දෙන බව මම කියන්න කැමතියි. මෙතරම් විධිමත්ව වැඩ කටයුතු සිදු කරන මෙම ළමා නිවාසයට අපි යම් උදව්වක් කළ යුතුයි. එමෙන්ම මගේ පැරණි මිත්‍ර හැරල්ඩ් කුලරත්න මැතිතුමා සහ ඉන් පසුව සිටි තිස්ස සිල්වා මැතිතුමා වෙනුවෙනුත් එම උපකාරය මා සිදු කරන බව කියන්න කැමතියි.

     

    රජයක් ලෙස මෙලෙස අපි හැකි සෑම අවස්ථාවකදීම අදාළ අංශවලට උදව් උපකාර කරනවා. හැකියාවක් තිබේ නම් මීටත් වඩා මුදල් ප්‍රතිපාදන ලබා දීමට මා කැමතියි. නමුත් ඒ සඳහා අපට විශාල ගැටලූවක් ඇති වී තිබෙනවා. එය රජයටත්, පළාත් සභාවටත්, සියලූම දෙනාටත් බලපානවා. මේ රටේ ආර්ථිකය අතීතයේ ගත් ණය බවට යට වී තිබීම ඊට හේතුවයි. අසාමාන්‍ය ණය ගැනීම නිසා සාමාන්‍ය පුද්ගලයෙකු වූවා නම් සිය දිවි නසා ගන්නවා. නමුත් රටකට එම ඉරණම අත්විය යුතු නැහැ. අපි ආරම්භ කළේ කෙසේ හෝ මේ රට සංවර්ධනය කිරීමේ කාර්යයයි. අපි ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 3600 ක්. දේශීය ණය ප්‍රමාණය පැවසුවොත් ඔබ සියලූ දෙනා මෙම ස්ථානයේ සිහි නොමැතිව ඇද වැටේවි.

     

    මේ සියල්ල අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම ණය ප්‍රමාණයෙන් වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ 2026 වසර දක්වායි. අවසාන ණය ප්‍රමාණය ගෙවීමට සිදු වන්නේ 2038 වසරේදීයි. එවැනි අති විශාල ණය ප්‍රමාණයක් අපට ගෙවීමට සිදු වෙනවා. මේ සියල්ල විදේශ ණය පමණයි. ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය ගැන පවසා ඔබව බියවැද්දීමට මා අපේක්‍ෂා කරන්නේ නැහැ.

     

    රටක් ලෙස අප පියවා ගැනීමට නොහැකිව ණය බරට යට වුවහොත් ජාත්‍යන්තරයේ වහලූන් බවට පත් වෙනවා. එම නිසා මෙම ණය පියවීමට සිදු වෙනවා. අපි සෑම උත්සාහයක්ම දරන්නේ ඒ ණය පියවීමටයි. එම විශාල ණය ප්‍රමාණය ගෙවීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ඇති කර ගනිමින් අප ඉදිරියට යන අතර එය ගෙවා දැමිය හැකි බව අපේ විශ්වාසයයි. ණය පියවීම ජාතික ප්‍රශ්නයක් නිසා අප පළමුවෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා පත් කර ගැනීමට කටයුතු කළා. ඉන් පසුව එක්සත් ජාතික පක්‍ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් එක් වී ජාතික ආණ්ඩුවක් ඇති කර ගත්තා. දැන් අපට ණය බරින් මිදීමට හැකි වෙනවා.

    එම ණය ප්‍රමාණය වීමට හැකි වන පරිදි රටේ ආර්ථිකය හැසිරවීමට මේ වන විට අපට හැකි වී තිබෙනවා. රටේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් ණය පියවීමට වැය වන අතර ඉතිරි කොටස සංවර්ධනය යෙදවීමට සිදුව තිබෙනවා. ඒ සදහා අවශ්‍ය මුදල් කෙසේ හෝ අයවැයෙන් ලබාදීමට අපට හැකි වී තිබෙනවා. ගම්මාන සංවර්ධනයට, සෞඛ්‍ය, අධ්‍යාපනය දියුණු කිරීමට, මෙවැනි ගොඩනැගිලි ආදිය ලබා දීමට, තරුණ නිපුණතා සංවර්ධනයට අප මුදල් ලබා දෙනවා. නමුත් අපට අවශ්‍ය පරිදි මුදල් ලබාදීමට නොහැකි වීම පිළිබදව කණගාටු වෙනවා.

    ණය පියවීමට අපහසුම වර්ෂ ලෙස හඳුනා ගෙන තිබෙන 2017 සහ 2018 වැනි වර්ෂයන්වලදී වුවත් අවශ්‍ය මුදල් සොයා ගනිමින් රට ඉදිරියට ගෙන යනවා. ඒ අතරතුර රට සංවර්ධනය කිරීමත් සිදු කරනවා.

    විවිධ රටවලට ගොස් විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනය කිරීමට පෙළඹෙන ආකාරයට ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රසාදයක් ජාත්‍යන්තරය තුළ ඇති කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමටත්, මටත් සිදුව තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරුන්ගේ කාලයේ විදේශ ආයෝජකයන් මෙරට ආයෝජනය කර හෝටල් කර්මාන්ත ශාලා ආරම්භ කිරීමෙන් පසුව අපේ රටේ විශාල සංවර්ධනයක් ඇති වුණා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ දී ඇඟළුම් කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට මා මෙම ප්‍රදේශයටත් පැමිණ තිබෙනවා. නමුත් යුද්ධය හේතුවෙන් එදා ආරම්භ වූ දියුණුව නැති වී ගියා. නැති වී ගිය දියුණුව නැවත රට තුළ ඇති කිරීමට කාලය එළැඹතිබෙනවා. නමුත් ඊට පෙර අප ණය බරින් නිදහස් විය යුතුයි. ඔබේ මහජන මුදල් හරහා ඇති වන ආදායම ණය පියවීමට යොදවන අතර විදේශ ආයෝජන හරහා මෙරට විශාල දියුණුවක් ඇති කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා.

    රුහුණු ආර්ථික කලාපය ඇති වී හම්බන්තොට වරාය චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමකට බාර දීමෙන් පසුව මෙම ප්‍රදේශයට රැකියා අවස්ථා දහස් ගණනක් ඇති වෙනවා. ඉදිරියේ දී මෙම ප්‍රදේශයට තෙල් පරිපහදු මධ්‍යස්ථානයක් ද ගෙන එනවා. අතීතයේ ඉන්ධන පිරවුම්හලක්වත් නොමැතිව තිබූ මෙම ප්‍රදේශයට එවැනි විශාල සංවර්ධනයක් දැන් ඇති කිරීමට අප බලාපොරාත්තු වෙනවා.

     

    නමුත් මේ සියල්ලටම පෙර විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිදු වන බව අප මතක තබා ගත යුතුයි. එම ණය බර ජනතාවගේ හිස මත පැටවිය නොහැකි නිසා කෙසේ හෝ ජනතාවට බරක් නොවන ලෙස එම ණය පියවීමට අප කටයුතු කරනවා.

     

    ජනතාවට බර පැටවීමේ සීමාවක් තිබිය යුතුයි. එබැවින් ඊට අවශ්‍ය මුදල් අප සොයා ගත යුතුයි. ලංකාවේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දිය යුතු වෙනවා. ඔවුන්ට ණය බරක් සමග ජීවිතය ආරම්භ කිරීමට ඉඩ දිය යුතු නැහැ. රට වෙනුවෙන් රජයකට කළ හැකි සේවයක් ලෙස සලකා අප එම ණය පියවීමට කටයුතු කරනවා.

     

    අපට අවශ්‍ය වන්නේ තවදුරටත් ණය ලබා ගැනීම නොවෙයි. මෙවැනි ප්‍රදේශවල අධ්‍යාපනය දියුණු කිරීමටයි. අවුරුදු 13 ක පාසල් අධ්‍යාපනය දැන් අනිවාර්ය කර තිබෙනවා. ජාතික සහ පළාත් සභාවල පාසල්වලට ගුරුවරුන් සහ මුදල් ලබා දිය යුතුයි. අප අවධානය යොමු කරන එක් අංශයක් වන්නේ අධ්‍යාපනය වන අතර අනෙක් අංශය මහජන සෞඛ්‍යයි. අපට ඖෂධ මිල පාලනය කිරීමට හැකි වුණා.

     

    දියුණු රටක් ලෙස ඉදිරියට යාමට රටට අයිතියක් තිබෙනවා. ගමේ ජනතාවට හොඳ අනාගතයක් ඇති කර දීමට දේශපාලනඥයන් ලෙස අපට වගකීමක් තිබෙනවා. දක්‍ෂ දූ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට අපට වගකීමක් තිබෙනවා.

     

    මේ සියල්ල සිදු කිරීමට නම් අපේ රට දියුණු කළ යුතුයි. අතීතයේ රංවලට පැමිණි අවස්ථාවක අප කතා කළේත්, උදාගම, මහවැලි ව්‍යාපෘතිය ආදිය හරහා මේ රට දියුණු කරන්නේ කෙසේද යන්න ගැනයි. එවැනි විශාල වැඩ සටහනක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එකතු වී අප මේ වන විට ආරම්භ කර තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට ණය ගෙවීමට තිබුණේ නැහැ. නමුත් අප ණයත් ගෙවමින් සංවර්ධනයත් ඇති කරමින් ඉදිරියට යාමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපට සහයෝගය දක්වන ලෙස බාල, මහලූ, වැඩිහිටි ඔබ සියලූ දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා. මෙම ළමා නිවාසයේ සිටින ශිෂ්‍යාවන්ට හොඳ අනාගතයක් ලැබේවායි මා ප්‍රාර්ථනා කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya