අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික සංහිදියාවට රජයේ සම්පූර්ණ සහාය - අග්‍රාමාත්‍ය

    මාර්තු 29, 2017

    ආගමික සංහිදියාව ඇති කිරීම සඳහා රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මරදාන, සුදුවැල්ලේදී අද (29) දින බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    එහිදී අඳහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;


    කිත්සිරි රාජපක්‍ෂ මහතා ගත් පියවර නිසා අද මේ ප්‍රදේශයේ ජනතාවට අවුකන ප්‍රතිමා පිළිම වහන්සේගේ අනුරුවක් ලැබී තිබෙනවා. මෙම ප්‍රදේශයට අවුරුදු 125 ක් 150 ක් පැරැණි බෞද්ධ ඉතිහාසයක් තියෙනවා. අද මෙම බුද්ධ ප්‍රතිමාව විවෘත කළ අවස්ථාවේදී ගරුතර මහා සංඝරත්නය පමණක් නොව හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පූජක පක්‍ෂය ද සහභාගීවී සිටිනවා. එයින් පෙනී යන්නේ මේ රට තුළ ආගමික සංහිදියාවක් ඇති බවයි. ආගමික සංහිදියාව ඇති කිරීම සඳහා රජයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කිරීමට කැමැතියි.

    මේ රටේ බහුතරයක් අදහන ආගම බුද්ධාගමයි. ඒ පිළිබඳව කවුරුත් තර්ක විතර්ක කරන්නේ නැහැ. එමෙන්ම බුද්ධාගමට තිබිය යුතු ප්‍රමුඛස්ථානය පිළිබඳව ද කවුරුත් ප්‍රශ්න කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේගේ දේශනාව පරිදි අප අනෙකුත් සෑම ආගමකටම ගරු කළ යුතු අතර, එම ආගම් ඇදහීමේ අයිතිය ද ලබාදිය යුතුයි. එම අයිතීන් ආරක්‍ෂා කරමින් ඉදිරියට යා යුතුයි. එසේ නොවෙන්නේ නම් අප ශ්‍රී ලාංකිකයන් වන්නේ නැහැ.

    විශේෂයෙන්ම වෙසක් සමයේදී දන්සැල් පවත්වන අවස්ථාවේදී එම දන්සැල් බෞද්ධ ජනතාවට පමණක් සීමා වන්නේ නැහැ. එම දන්සැල් සඳහා බෞද්ධ ජනතාව පමණක් නොව අපේ රටේ සිටින අනෙකුත් ආගම්වලට අයිති ජනතාව ද උදව් ලබා දෙනවා.

    සෑම ජාතියක්ම, සෑම ජනකොටසක්ම එක්සත් වී ඒකීය ශ්‍රී ලංකාවක් හා ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කළ යුතුයි. ඒ සඳහා ආගමික සංහිදියාව පමණක් නොව විවිධ ජන කොටස් අතර තිබෙන ආගමික සංහිදියාව ද වැදගත් වනවා. පළමුව අප කළ යුත්තේ ජාති භේද, ආගම් භේද නොමැතිව ක්‍රියා කිරීමයි. ඒ සඳහා වූ පසුබිම සකස් කිරීමට දේශපාලන විසඳුමක් අවශ්‍ය වනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවේ හා මෙහෙයුම් කමිටුවේ සාකච්ඡා කර තිබෙනවා. ජාතික සංහිදියාව ඇති කිරීම සඳහා යන ගමනේ කිසිම භේදයක් නැහැ. ඒකීය ශ්‍රී ලංකාවක් තුළ ක්‍රියා කළ යුතු බව සෑම කෙනෙක්ම පිළිගෙන තිබෙනවා.

    ජාතික සංහිදියාව ඇති කිරීමේදී රට බෙදන්නේ නැතුව බලය බෙදන්නේ කෙසේද යන්න අප කල්පනා කළ යුතුයි. රට බෙදන්නැයි කවුරුත් පවසන්නේ නැහැ. ඒකීය භාවය ශක්තිමත් කිරීම සඳහා බලය බෙදාහැර එක් එක් ප්‍රදේශවල සිටින ජනතාවට තමන්ගේ වැඩකටයුතු සිදු කිරීමට හා තමන්ගේ ආගම ඇදහීමට අවස්ථාව ලබා දිය යුතුයි.

    පළාත් සභා බලතල වැඩිකිරීම පිළිබඳ සංශෝධන උතුරේ මහ ඇමැතිවරයා පමණක් නොව දකුණේ මහ ඇමැතිවරුන් ද යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. එහිදී කිසිවෙකු රට බෙදන්නැයි කියා පවසන්නේ නැහැ. දේශපාලන වශයෙන් තිබෙන්නා වූ ප්‍රශ්න විසදා ගෙන, ආගමික සංහිදියාව සම්බන්ධයෙන් ක්‍රියා කරනවා නම්, ජාතිවාදී ප්‍රශ්න නැති නම් අපට රටක් වශයෙන් ශීඝ්‍රයෙන් ඉදිරියට යා හැකියි. දේශපාලන පක්‍ෂවල විවිධ අදහස් තිබිය හැකියි. එම අදහස් අවශ්‍යයි. එම අදහස් තමන්ගේ ධර්මය අනුව හා රටේ අනාගතය වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි.

     

    නමුත් සමහර දේශපාලන මතධාරීන් පවසන්නේ මේ නිසා සිංහල ජනතාව නැති වෙන බවත්, ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් අහෝසි වන බවත්, මුස්ලිම් ජනතාවට රට තුළ ජීවත් වෙන්නට බැරිබවත්. ඒ ජාතිවාදී අදහස් වලට කිසිම පදනමක් නෑ. මේ ආකාරයෙන් ජාතිවාදය අවුස්සන්නේ දේශපාලන වශයෙන් බංකොළොත් වෙච්ච පිරිසක්. අද මෙවන් අදහස් අපට අවශ්‍ය වන්නේ නැහැ. අප සිතිය යුත්තේ සියලූ දෙනාම එකට එක්වී ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි.

     

    පසුගිය ජනාධිපතිවරණයේදී අපේ දේශපාලන ප්‍රශ්න පැත්තකට දමා අපි සියලූ දෙනාම එකට එක්වී පොදු අපේක්‍ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරා පත් කර ගෙන වැඩ කටයුතු කළේ මේ රටේ සියලූ ජනතාව ඒකරාශී කර ගනිමින් එකට ගමනක් යෑමටයි. සියලූදෙනා එකට එක්වී ගමනක් යනවා නම් ආර්ථික වශයෙන් රට ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යා හැකියි.

     

    එනම් අපේ ගමන පිළිබඳව අප පැහැදිලිව රටට ප්‍රකාශ කර තිබෙනවා. අපට නැවත යුද්ධයක් අවශ්‍ය වන්නේ නැහැ. රටක් වශයෙන් දියුණු වන්නේ කෙසේද යන්නයි අපේ අරමුණ. රට බෙදන්නේ නැතුව බලය බෙදා ඉදිරියට යනවා නම් රට බෙදනවා, බුද්ධාගම නැති වනවා, ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නැති වනවා, ආගම් නැති වනවා කියා කෑ ගැසීමට අවශ්‍ය වන්නේ නැහැ.

     

    රටේ ජනතාවගේ ආදායම් මාර්ග වැඩිකර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරමින් ඔවුන්ට හොඳ අනාගතයක් ඇති කිරීම සඳහාත් ජාතික සංහිදියාව ඇති කිරීම සඳහාත් සියලූ දෙනාම අත්වැල් බැදගන්නැයි මා මේ අවස්ථාවේදී ඔබෙන් ඉල්ලා සිටිනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya