නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආනයනික සහල් කිලෝවක් රුපියල් 76කට වඩා වැඩි විය ‍නොහැක - ජනපති

    ජනවාරි 22, 2017

    ආනයනය කරන සහල් කිලෝ ග‍්‍රෑම් 01 ක් කිසිදු අයුරකින් රුපියල් 76 කට වඩා වැඩි මිලකට වෙළෙඳපොළේ අළෙවි කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

    පෞද්ගලික වෙළෙඳුන්ට සහ සහල් මෝල් හිමියන්ට අවශ්‍ය පරිදි සහල් මිල ඉහළ නංවා සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් කළ නොහැකි බව පැවසු ජනාධිපතිතුමා කිසිදු අවස්ථාවක වෙළෙඳපළ තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිඟයක් ඇතිවිය නොහැකි බවත් චක‍්‍ර ලේඛවලට සීමා නොවී ජනතා අවශ්‍යතා සපුරාලීමට හැකි සෑම පියවරක්ම ගැනීම නිලධාරින්ගේ වගකීමක් බවත් ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මතුවිය හැකි නියං තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට සහ රජයේ සැළසුම් කි‍්‍රයාත්මක කිරීම සඳහා පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය ජනාධිපති කාර්යාලයේදී හමුවූ අවස්ථාවේදීය.

    සහල් ආනයනයේදී පරිභෝජනයට සුදුසු සහල් ආනයනය කිරිමට වගබලාගත යුතු බවට ද ජනාධිපතිතුමා මෙහිදී වෙළෙඳ අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය. රජය සතු ගබඩාවලින් නිකුත් කර ඇති වී තොග ලබාගත් වී මෝල් හිමියන් ඒවා සහල් බවට පත්කර වෙළෙඳපළට මුදා හැර තිබේදැයි සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා මෙහිදී වී අළෙවි මණ්ඩලයට දැනුම් දුන්නේය.

    තම පෞද්ගලික ඉල්ලීමක් මත ත්‍යාගයක් වශයෙන් සහල් මෙට්ටි‍්‍රක් ටොන් දස දහසක් ඉදිරි සති කිහිපය තුළ ශී‍්‍ර ලංකාවට ලබාදීමට ඉන්ඳුනිසියා රජය කැමැත්ත පළ කර තිබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    මතුවිය හැකි නියං තත්ත්වයට මුහුණදීම සඳහා රජයේ කෙටි කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර දිස්ති‍්‍රක් මට්ටමින් පවතින ගැටලු පිළිබඳ අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගෙන් කරුණු විමසීමෙන් අනතුරුව එම ගැටලු විසඳීම සඳහා අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන ලබාදීමට ජනාධිපතිතුමා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දුන්නේය. ජනතාවට අවශ්‍ය පානීය ජලය සුරක්ෂිත කිරිමෙන් අනතුරුව වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමට ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ජනතාවට පානීය ජලය සැපයීම සඳහා අවශ්‍ය ජල බවුසර්, ජළ පොම්ප සහ වතුර ටැංකි කඩිනමින් අදාළ දිස්ති‍්‍රක්ක වෙත ලබාදීමට ද උපදෙස් දුන්නේය.

    ජනතාවට දෛනික වශයෙන් අවශ්‍ය සහන සැළසීමේ දී කිසිදු අවස්ථාවක කාර්ය මණ්ඩලවල හිඳයක් ඇති විය නොහැකි අතර ඒ සඳහා ති‍්‍රවිධ හමුදාවේ සහය ඕනෑම අවස්ථාවක ලබාගතහැකි බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. නියඟයෙන් පීඩාවට පත්වන ජනතාවට දෛනික වශයෙන් පැන නැගෙන ගැටලු විසඳීම සඳහා ආපදා කළමණාකරණ අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නිළධාරියෙකු සෑම දිස්ති‍්‍රක්කයක් සඳහාම පත් කිරීමටද උපදෙස් දුන් ජනාධිපතිතුමා එම නිළධාරින් දිස්ති‍්‍රක් ලේකම්වරුන් සමග සම්බන්ධිකරණයෙන් කටයුතු කළයුතු බව ද පැවසීය.

    නියං තත්ත්වය සමග මතුව ඇති සෞඛ්‍ය ගැටලු පිලිබඳ අවධානය යොමු කරමින් විශේෂ වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන් ජනාධිපතිතුමා විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් දුන්නේය.

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ, ලෝක බැංකුවේ සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර මතුවිය හැකි ත්ත්ත්වය සඳහා මුහුණදීමට ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ද්‍රව්‍යමය සහ මුල්‍යමය ආධාර ලබාදීමට කටයුතු කරන බව ඔවුහු ප‍්‍රකාශ කළය.

    අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, රාජිත සේනාරත්න, සුසිල් පේ‍්‍රමජයන්ත, රවුෆ් හකීම්, පී. හැරිසන්, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, සියලූම පළාත් මහ ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya