අද (12) දින ගාල්ල, කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.
2017.01.12 වන දින ගාල්ල, කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව.
කරාපිටිය සුනන්දාරාමය පැරණි විහාරස්ථානයක්. මෙහි බිතුසිතුවම් දුටු විට විහාරස්ථානය කෙතරම් පැරණි දැයි මට හොදින් වැටහුණා. සියල්ලට පළමුවෙන් අපි මෙම බිතුසිතුවම් ආරක්‍ෂා කළ යුතුයි. මේ විහාරස්ථානය දියුණු කිරීම සඳහා මෑත කාලයේ දී පියවර ගණනාවක් ගෙන තිබෙනවා. මේ ප්‍රදේශය නියෝජනය කරන විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා විහාරස්ථානයේ ප්‍රාකාරය සහ මාර්ගය ඉදිකර දී තිබෙනවා. මේ සඳහා දායකත්වය ලබාදුන් ලක්‍ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයාට ස්තූතිවන්ත විය යුතුයි. විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීවරයා සෑම විටම ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන බව කිව යුතුයි.
මෙම විහාරස්ථානයට පැමිණෙන්නැයි මට පළමුවෙන්ම ආරාධනා කළේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතායි. ඒ මහතා තම මව්පියන්ට පිං පිණිස මෙම විහාරස්ථානයේ චෛත්‍ය වහන්සේ නවීන ආකාරයට ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. නාගරික ප්‍රදේශවල ඉඩකඩ සීමා සහිත බැවින් එම ප්‍රදේශවල පිහිටි විහාරස්ථානයන්හි චෛත්‍ය ඉදිකරනු ලබන්නේ ඒ ඉඩකඩ උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරයටයි.
චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා එක්සත් ජාතික පාක්‍ෂකයෙකු හා සංවිධායකවරයෙකු ලෙස තම ප්‍රදේශය, පෞද්ගලික මුදල් වියදම් කරමින් දියුණුව කරා ගෙන යාමට උත්සාහ කරන පුද්ගලයෙක්.. සියලූ දේශපාලනඥයන් එසේ නොවන අතර ඇතැම් පුද්ගලයන් දේශපාලනයට පිවිසෙන්නේ රටේ ජනතාවගේ මුදල්වලින් පොහොසත් වීමටයි. නමුත් සිය මුදලින් ජනතාවට සේවය කරන දේශපාලනඥයන් සිටින්නේ ඉතා අල්ප පිරිසක් බව කිව යුතුයි. එම නිසා චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාට ස්තූතිවන්ත වනවා.
අපේ නායක ස්වාමීන් වහන්සේත්, දායක සභාවත් මෙම විහාරස්ථානය දියුණු කිරීමට විශාල උත්සාහයක් ගන්නවා. මෙම ප්‍රදේශයේ සීග්‍රයෙන් ජනගහනය ඉහළ යනවා. 1977 – 78 පමණ කාලයේ දී මා මෙහි පැමිණෙන විට මේ ප්‍රදේශය ගාල්ල නගරයේ අවසන් සීමාවයි. එකල කරාපිටිය රෝහල හෝ වෛද්‍ය පීඨය තිබුණේ නැහැ. නමුත් අද මෙම ප්‍රදේශය සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. එම දියුණුවත් සමග ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කිරීම පිණිස මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම ඉතා වැදගත්. මෙම පුණ්‍යකර්මයට සහභාගි වූ විහාරස්ථානයේ දායක සභාව ඇතුලූ සියලූ දෙනා වෙත ස්තූතිය පුද කිරීම මගේ යුතුකමක් සේ මම සලකනවා. තරමක් කල් වේලා ඇතිව මෙම ස්ථානයෙන් පිටත්ව යාමට මට සිදු වී ඇති බැවින් ඒ පිළිබඳව මා පළමුව සමාව ඉල්ලා සිටිනවා.
පසුගිය සතිය අප ආරම්භ කළේ රටේ දියුණුවට වැදගත් පියවර කිහිපයක් සනිටුහන් කරමින්. අප කුරුණෑගල කර්මාන්ත ශාලා දෙකක් ඉදිකිරීමට පියවර ගත්තා. ඒ වගේම කළුතර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මුළ පිරුවා. ඉන් අනතුරුව අප පැමිණියේ දකුණටයි. ඒ අනුව කොග්ගල ප්‍රදේශයේ තවත් කර්මාන්ත ශාලාවක් විවෘත කළා. අනතුරුව හම්බන්තොට සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කළා. ඒ සියලූ වැඩ කටයුතු අතරතුර මෙම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නිරාවරණය කිරීමටත් අපට හැකි වුණා. මෙම උත්සවයෙන් අනතුරුව තවත් සාකච්ඡාවකට සහභාගි වීම සඳහා නැවත කොළඹ බලා යාමට ඇති බැවින් මා මෙම ස්ථානයෙන් කල් වේලා ඇතිව පිටත්ව යනවා. එම සාකච්ඡාවේ ප්‍රතිඵලය වන්නේ වැලිගම ප්‍රදේශයේ චාලිමවුන්ට් වත්තේ තවත් කර්මාන්ත කලාපයක් ආරම්භ කිරීමයි. ඒ සම්බන්ධයෙන් වන සුබවාදී ආරංචි කිහිපයක් ඊයේ දිනයේ අපට දැන ගැනීමට ලැබුණා. මා ඇතුලූ කණ්ඩායමක් පසුගිය දා බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරට ගොස් යුරෝපා සංගමයේ ප්‍රධානීන් මුණගැසී, අපේ ඇඟළුම් ඇතුලූ භාණ්ඩ ගණනාවක් අපනයනය කිරීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය නැවත ලබා ගැනීම වෙනුවෙන් සාකච්ඡා කළා. ඒ බිලියන 500 ක් පමණ විශාල යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීම සඳහායි. ඒ අනුව නැවතත් යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීම සඳහා ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ලැබුණු බව ඊයේ අපට වාර්තා වුණා. මෙම සහනයත් සමග ඉදිරියේ දී අපට විශාල දියුණුවක් ලබා ගැනීමට හැකි වනවා.
එක්සත් ජාතික පක්‍ෂය 1977 දී රටේ විශාල දියුණුවක් ඇති කරමින් කර්මාන්තකරණය ආරම්භ කළා. එහි පළමු ව්‍යාපෘතිය වූයේ ඇඟළුම් කර්මාන්තයයි. රටවල් ගණනාවක් ඇඟළුම් කර්මාන්තයත් සමග සපත්තු, බෑග්, විදුලි උපකරණ ආදී කර්මාන්ත ආරම්භ කළත්, අපේ රටේ පැවැති යුද්ධය නිසා ආයෝජකයන් මෙහි පැමිණ කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට බිය වූ බැවින් අපට අනෙකුත් කර්මාන්ත ආරම්භ කිරීමට හැකි වුණේ නැහැ. ශ්‍රී ලංකාවේ යුද්ධයක් පවතින නිසා විදුලි උපකරණ නිෂ්පාදකයන්, බෑග් නිෂ්පාදකයන් මෙහි පැමිණ ආයෝජනය කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටියා. එම නිසා අපට හිමි වුණේ ඇඟළුම් කර්මාන්තය පමණයි. ඒ හරහා අපට විශාල ඇඟළුම් වෙළෙඳපොළක් තිබුණා. එම ඇඟළුම් වෙළෙඳපොළ තවදුරටත් දියුණු කරන්නේ කෙසේදැයි අප අවධානය යොමු කළා.
2003 – 2005 කාලයේ මා අගමැතිවරයා ලෙසත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපතිනිය ලෙසත් යුරෝපා සංගමය සමග සාකච්ඡා කරමින් යුරෝපීය වෙළෙඳපොළට අප රටේ ඕනෑම භාණ්ඩයක් අපනයනය කිරීම සඳහා ජී.එස්.පී. ප්ලස් බදු සහනය අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ජී.එස්.පී. ප්ලස් සහනය හිමි වන්නේ කාරණා දෙකක් මතයි. පාරිසරික දියුණුවත් සමග සාමාජීය දියුණුව ඇති කරමින් කාන්තාවන්ට, දරුවන්ට හොදින් සලකන, නීතිය ක්‍රියාත්මක වන, ප්‍රජාතන්ත්‍රීය රාමුවක් ක්‍රියාත්මක වනවා නම් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත හැකියි.
යුරෝපා සංගමය සිය වෙළෙඳපොළට ඇතුලූ වීමට ඉඩ ලබා දෙන්නේ එම කරුණු ක්‍රියාත්මක කරන රටවල්වලට පමණයි. එම ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට අප කටයුතු කළා. නමුත් අවාසනාවකට, ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවට බලනොපාන බවට අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විශ්මය දනවන තීන්දුවක් ලබා දුන්නා. එය සිදුවූයේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඊට අත්සන් තබා තිබියදීයි.
මෙය පාර්ලිමේන්තුව වෙත ගෙන ගොස් වෙනස් කරමු යැයි අප එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියා. නමුත් එය සිදු වුණේ නැහැ. ඉන් අනතුරුව අපේ රටේ පරිසර දූෂණය, කාන්තා හිංසනය, නීතියේ කඩා වැටීම, මාධ්‍ය මර්ධනය ආදිය නිසා ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහන අපට අහිමි වුණා. ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීමට අපේ සම්පූර්ණය සහයෝගය ලබාදෙන බව පැවසුව ද එය සිදු වූයේ නැහැ.
2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරමින් අප පොරොන්දුවක් ලබා දුන්නේ නැවතත් යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ යැවීම සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගන්නා බවයි. අපට යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීමට හැකියාවක් නොමැති නම් රැකියා දස ලක්‍ෂය පිළිබඳව සිතීමටවත් නොහැකියි. එම නිසා ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට අපි කඩිනමින් පියවර ගත්තා.
අපේ ධීවර මත්ස්‍ය අපනයන යුරෝපා සංගමය විසින් ප්‍රතික්ෂේප කොට තිබුණා. අපේ ආණ්ඩුව යටතේ ගනු ලැබූ පියවර නිසා 2015 වසරේදීම සාකච්ඡා මාර්ගයෙන් එම තහනම ඉවත් කර ගැනීමට මට හැකි වුණා.
ඉන් අනතුරුව ජාතික ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් ඉටු කිරීමට පියවර ගත්තා. කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබාදීම, කාන්තා හිංසනය පිළිබඳ නීති සංශෝධනය, ළමා සුබසිද්ධිය ඇති කිරීමට පියවර ගණනාවක් ගනු ලැබුවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැරිසියේ පැවැති ගෝලීය උණුසුම පිළිබඳ සම්මේලනයට දෙවරක් සහභාගි වී එහි කොන්දේසිවලට අත්සන් තැබුවා. ඒ හරහා පරිසරය ආරක්‍ෂා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළා. යුරෝපීය සංගමයට අයත් සියලූ රවටල් සමග සාකච්ඡා කරමින් සහයෝගය ලබා ගැනීමට අපේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියා කළා. ඒ කටයුතු සඳහා අපට වසරක පමණ කාලයක් ගත වුණා.
ඒ සමගම ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ දී අප රටට එරෙහිව එල්ල වූ චෝදනා රටට වාසිසහගත ආකාරයට පරිවර්තනය කර ගැනීමටත් සහ ඒ සඳහා අපේ යෝජනාවන් ලබාදීමටත් අපට හැකි වුණා. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිතුමා විටින් විට ජර්මනියේ ඇන්ජලා මර්කල් චාන්සලර්වරිය ද, ප්‍රංශයේ ජනාධිපතිවරයා, එංගලන්තයේ එවක අගමැති ඩේවිඩ් කැමරන් වැනි ලෝක නායකයන් හමුවී සාකච්ඡා කළා.
ඒ අතරවාරයේ නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට මට හැකියාව ලැබුණා. අවසානයේ මා ඇතුලූ කණ්ඩායමක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය පිළිබඳ අවසාන වශයෙන් සාකච්ඡා පැවැත්වුවා. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතේ අපි පියවර ගන්නේ නම් ජී.එස්.පී. ප්ලස් සහනය අපට ලබාදෙන බව ඔවුන් පැවසුවා. ඒ අනුව එහි අවසන් පියවර අප ඉකුත් සතියේ දී ගනු ලැබුවා. ඒ ජාතික මානව හිමිකම් රාමුව ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීමයි. එය දැනගත් යුරෝපා සංගමය ඊයේ (11) දිනයේ රැස්වී ප්‍රකාශ කර සිටියේ අපට නැවතත් ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදෙන බවයි.
මෙම තීන්දුව ලබාදීමෙන් පසුව ඊට විරෝධතා ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට මාස දෙකක කාලයක් තිබෙනවා. අප්‍රේල් - මැයි මාස වන විට අපට යුරෝපයේ අලූත් වෙළෙඳපොළට පිවිසීමට හැකියාව ලැබෙනවා.
මේ වන විට ආණ්ඩුවේ වැඩ කටයුතු බොහෝ දුරට අවසන් කර තිබෙනවා. මට සිදු කිරීමට තිබෙන්නේ තවත් එක් දෙයක් පමණයි. එනම් පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයින් කැඳවා, ඔබ ශ්‍රී ලාංකිකයින් නම්, සැබෑ දේශප්‍රේමීන් නම් කරුණාකර නව කර්මාන්ත ශාලා ඇති කරමින් රැකියා අවස්ථා බිහි කිරීමට දායක වන ලෙස ඉල්ලා සිටීමයි. ඇතැම් ව්‍යාපාරිකයින් අපට කියා සිටියේ කර්මාන්ත ශාලා ඉදිකිරීමට අවශ්‍ය කර්මාන්ත කලාප නොමැති බවයි.
කොග්ගල කර්මාන්ත කලාපයේ තවත් අක්කර 5 – 10 ක් පමණ ඉතිරිව තිබෙනවා. එම ඉඩම් ප්‍රමාණය ප්‍රයෝජනවත් ලෙස යොදා ගැනීමට අප කල්පනා කළ යුතුයි. හම්බන්තොටට පමණක් මේ කර්මාන්ත කලාප සීමා කළ යුතු නැහැ. එම නිසා අප ගාල්ල හා මාතර ප්‍රදේශයන් වෙත අවධානය යොමු කරමින් මොන්ටි ජයවික්‍රම මැතිතුමාගේ පියාණන්ට අයත්ව තිබූ අක්කර 350 ක් පමණ වන චාලිමවුන්ට් වත්තේ පළමු කර්මාන්ත කලාපය ඉදිකිරීමට අප පියවර ගන්නවා. ඒ සඳහා අපි දැනට සමාගමක් හඳුනාගෙන තිබෙනවා.
රජයට අයිති ලංකා ඉන්ඩස්ට්‍රියල් ඩිවලප්මන්ට් ලිමිටඩ් නැමැති ආයතනය සපුගස්කන්ද ප්‍රදේශයේ පළමු පෞද්ගලික කර්මාන්ත කලාපයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කරමින් සිටිනවා. එම ආයතනය මෙම චාලිමවුන්ට් වත්තේ ඉදිකිරීමට නියමිත කර්මාන්ත කලාපයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට ද ඉදිරිපත් වී සිටිනවා.
ලංකා ඉන්ඩස්ට්‍රියල් ඩිවලප්මන්ට් ලිමිටඩ් සමාගමට චාලිමවුන්ට් කර්මාන්ත කලාපයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ඉන්දියාවේ, ආන්ද්‍රා ප්‍රදේශ්හි ප්‍රධානතම සමාගමක් වන කර්මාන්ත යටිතල පහසුකම් සමාගමේ සහයෝගය ලබා ගැනීමට මම ආන්ද්‍රා ප්‍රදේශ් මහඇමැති චන්ද්‍රබාබු නායුදු මහතා සමග සාකච්ඡා පැවැත්වුවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලංකා ඉන්ඩස්ට්‍රියල් ඩිවලප්මන්ට් ලිමිටඩ් සමාගම, එම ඉන්දීය සමාගම සමග ඒකාබද්ධව අලූත් සමාගමක් ඇති කර චාලිමවුන්ට් කර්මාන්ත කලාපයේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට සූදානම් බව පැවසුවා.
ඒ සමගම ඔවුන් ඉංගිරිය ප්‍රදේශයෙන් තවත් අක්කර 700 ක ප්‍රමාණයක් ලබාගෙන කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට සූදානම් වනවා. ඊට අමතරව කලූතර සහ හම්බන්තොට ප්‍රදේශයේ ද තවත් වෙළෙඳ කලාප ඉදිකිරීමට ඔවුන් සූදානම් බව දන්වා තිබෙනවා. මීළගට අපට තිබෙන්නේ අපේ තරුණ තරුණියන්ට රැකියා පුහුණුව ලබාදීමයි. දැනට තිබෙන පුහුණු ආයතන දියුණු කර ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට මා විෂය බාර කැබිනට් අමාත්‍යවරු තිදෙනාට සහ මන්ත්‍රීවරුන්ට බාර දී තිබෙනවා. කර්මාන්ත නොමැති නම් ජීවිත දියුණු වෙන්නේ නැහැ.
මේ ප්‍රදේශය කර්මාන්ත කලාප සඳහා පමණක් වෙන් කිරීමට නොහැකියි. බෙන්තර සිට ගාල්ල දක්වා ප්‍රදේශය උසස් සංචාරක ව්‍යාපාර සඳහා වෙන් කිරීමට ද අප කටයුතු කරනවා. දෙද්දුව, අකුරල, ගාලූ නගරයේ ප්‍රතිසංවිධානය හරහා අපි එම වැඩ කටයුතු සිදු කරනවා. අපට අවශ්‍ය වන්නේ මුදල් යහමින් ඇති චීන, ඉන්දීය සහ සුදු ජාතිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමයි. මුදල් යහමින් වියදම් කළ නොහැකි සංචාරකයන් මෙරටට ගෙන්වා ගෙන පළක් නැහැ. සංචාරකයන් මුදල් වියදම් කරන විට එම මුදල් ඔබේ සාක්කුවට එනවා.
මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට පමණක් නොව, කුඩා පරිමාණ ව්‍යාපාරිකයින්ටත් මේ සඳහා දායක වීමට අවස්ථාව උදා වනවා. මේ වන විටත් අපේ ලාංකිකයන් කුඩා හෝටල්, ආපන ශාලා පවත්වා ගෙන යනවා. ඔවුන්ට දියුණු වීම සඳහා අතහිත ලබාදීමට අප සූදානම්. සංචාරක මඟපෙන්වන්නන්ට, නර්තන, ගායන හා වාදන ශිල්පීන් ඇතුලූ මේ සියලූ දෙනාට ආදායම් මාර්ග සරු වන අනාගතයක් නිර්මාණය වනවා. මේ වන විට වැඩිපුරම දියුණුවට පත්වන ප්‍රදේශය ලෙස දකුණු පළාත පත්වෙලා. කටුනායක හා මත්තල ගුවන් තොටුපොළ දෙකක්, කොළඹහා හම්බන්තොට වරායන් දෙකක් තිබෙනවා. මේවායින් අප සම්පූර්ණ ප්‍රයෝජන ලබාගත යුතුයි.
කර්මාන්ත කලාප, සංචාරක කර්මාන්තය මෙන්ම තොරතුරු තාක්‍ෂණයත් මෙම ප්‍රදේශයට ගෙන ඒමට අප කටයුතු කරනවා. අධ්‍යාපනය දියුණු කිරීම සඳහා තවත් ඉංජිනේරු උපාධි ප්‍රදානය කරන ආයතනයක් මේ ප්‍රදේශයේ ඇති කළ යුතුයි.
අපි ඔබේ සහයෝගය බලාපොරොත්තු වන්නේ මෙම දැවැන්ත කාර්ය භාරය ඉටු කිරීම සඳහායි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අප එකට එක්වූයේ එම කාර්ය භාරය ඉටු කිරීම වෙනුවෙනුයි. දේශපාලනිකව එකිනෙකාට විරුද්ධ පුද්ගලයන් අද එකට එක්ව සිටිනවා. මේ අවුරුදු පහ මේ ආකාරයටම සහයෝගයෙන් කටයුතු කරමු. ඉන් අනතුරුව අපේ පක්‍ෂ දේශපාලනයේ නිරත වීමට හැකියාව තිබෙනවා. දැන් අපට ජී.එස්.පී. ප්ලස් සහනය තිබෙන නිසා ඔබ සියලූ දෙනාම එක් කර්මාන්ත ශාලාවක් හෝ හෝටලයක් රැගෙන එන්නැයි මම යෝජනා කරනවා. එය දියුණු කිරීමට අපේ පූර්ණ සහාය ලබා දෙනවා.
ගාල්ල නගරය අප කිසි විටෙක අමතක නොකරන බව මම විශේෂයෙන් කියන්න කැමතියි. ඉතා අමාරු කාලයේදීත් අපට සහයෝගය ලබාදුන් ප්‍රදේශයක් වන්නේ ගාල්ලයි. මේ ප්‍රදේශයේ දියුණුව සඳහා අප එක්ව කටයුතු කරමු.