අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරේ

    ජනවාරි 11, 2017
    රට ආර්ථික අර්බුදයෙන් නිදහස් කර ගනිමින් සමෘද්ධිමත් දේශයක් ගොඩනැගීමේ වගකීම නොපිරිහෙලා ඉටුකරන බව ජනපති අවධාරණය කරයි.
    වත්මන් රජයට කුමන ආකාරයේ චෝදනා එල්ල කළද රටේ ආර්ථික අර්බුදයක් මතුව ඇත්නම් ඒ ඉකුත් දෙවසර තුළ ඇතිවූ තත්ත්වයක් නොව පසුගිය රජය නිර්මාණය කළ මහා ණයබරත් සමග මතුවූ තත්ත්වයක් බව ජනාධිපතිතුමා පවසයි.
     
    අද එම ප‍්‍රශ්නය විසඳීමේ වගකීම තමන් ප‍්‍රමුඛ වත්මන් රජය භාරගෙන ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද භාරගත් එම වගකීම නිසි ලෙසම ඉටු කරමින් මේ රට සමෘද්ධිමත් දේශයක් ලෙස ගොඩනැගීමේ කාර්යය ජනතාව සමඟ එක්ව නොපිරිහෙළා ඉටුකරන බවද අවධාරණය කළේය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදාහැරිමේ උත්සවයෙන් අනතුරුව ඇළහැර මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.
     
    මෙරට කි‍්‍රයාත්මක වන විශාලතම බහු කාර්ය යෝජනා ක‍්‍රමය වන මොරගහකන්ද ජලාශයට මංගල දියවර මුදා හැරීම අද පෙරවරුවේ යෙදුනු සුබ මොහොතින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිදුවූ අතර මෙරට වාරි ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් මෙරට ඉදිවන දිගම වාරි ඇළ වන ඉහළ ඇලහැර ඇළට මංගල පස් පිඩැල්ල කැපීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
     
    අනතුරුව පැවති ජනහමුව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රජ රට ජනතාවගේ කඳුළු කථාව නිමාකිරීමට මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ තමා දුටු සිහිනය සැබෑ කරගනිමින් එහි ප‍්‍රතිඵල ලබා ගන්නා අද දවස තම ජීවිතයේ ඉතාම සතුටට පත්වන දිනය බවයි.
     
    මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය මෙරට කෘෂිකර්ම මෙන්ම වාරිමාර්ග ක්ෂේත‍්‍රයේ නව පිබිදීමක් ඇතිකරනු ඇති බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා මෙවන් දැවැන්ත ව්‍යාපෘති තුළින් අපේක්ෂා කරන්නේ පෙර රජ දවස තිබූ ස්වයංපෝෂිත සහ සමෘද්ධිමත් ආර්ථිකය නැවත රට තුළ ගොඩනැගීම බවද ප‍්‍රකාශ කළේය.
     
    රටේ කාලගුණික සහ දේශගුණික තත්ත්වයත් සමග අද අපට බරපතළ නියඟයකට මුහුණදීමට සිදුව ඇති අතර එහෙත් ජනතාව කුසගින්නේ තැබීමට රජය සූදානම් නොමැති බවත් ඉතා ඉක්මනින් පිටරටින් සහල් ගෙන්වා අඩු මිලට ජනතාවට අවශ්‍ය සහල් ලබාදීමට රජය තීන්දු කර තිබෙන බවත් පැවසීය.
     
    නියඟය සමග මතුවිය හැකි ඉදිරි අභියෝග පිළිබඳ අවධානය යොමු කරමින් ගොවි ජනතාවට සහන ලබාදීමට සහ ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය සැලසුම් රජය සකස්කර තිබෙන අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් ද පත්කර පුළුල් වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කර තිබෙන බවද ජනාධිපතිවරයා පැවසීය.
     
    මෙරට විශාලත්වයෙන් හතරවැනි තැන ගන්නා මොරගහකන්ද ජලාශයේ වපසරිය අක්කර අඩි 460,000 ක් වන අතර ප‍්‍රධාන වේල්ලක් හා සදැලි වේලි දෙකකින් යුත් මෙම ජලාශය පසුගිය වසර 30කට පසු මෙරට ඉදිවූ විශාලම ජලාශය වේ.
     
    මාතලේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණාමලය යන දිස්ති‍්‍රක්කයන්හි ජනතාව බොහෝ කලක් පීඩා විඳි ජල ගැටලුව මඟහරවමින් ඉදිකෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 555. 7 කි.
     
    ඉහළ ඇළහැර ඇළ මාර්ගය මොරගහකන්ද සිට අනුරාධපුරයේ මහකනදරාව වැව දක්වා ඉදිවන අතර එහි දිග කිලෝමීටර් 103 කි. මෙරට වාරි ඉතිහාසයේ ඉදිවන දිගම ඇළ මාර්ගය වන මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම රුපියල් කෝටි 6500 කි. ඉදිකිරිම් කාලය වසර 05 කි.
     
    ඇළහැර මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවෙන් අනතුරුව මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වූ ජනතාව නැවත පදිංචි කරවීම යටතේ ඉඩම් ඔප්පු ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.
     
    අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya